.webp)
COLOMBO (News 1st) - කාන්තාවන් දෙදෙනෙකු මියයාමට හේතුවූ බවට සැක කළ බුපිවකේන් නිර්වින්දන ඖෂධයේ ප්‍රමිතිය පිළිබඳව බරපතළ ගැටලුවක් මතුවන තොරතුරු දැන් අනාවරණය වෙමින් තිබේ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිසේරියන් හා හර්නියා සැත්කම්වලට ලක්වූ කාන්තාවන් දෙදෙනෙකුට ඉන්දියාවෙන් ගෙන්වූ බුපිවකේන් හයිඩ්රෝක්ලෝරයිඩ් ඉන් ඩෙක්ට්‍රෝස් නමැති නිර්වින්දන ඖෂධය ලබාදීමෙන් පසුව සංකූලතා ඇතිවී තිබිණ.
ඔවුන්ගෙන් එක් අයෙකු අප්‍රේල් 6 වනදාත් තවත් අයෙකු ජුනි 15 වනදා මිය ගියේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
ඖෂධ නියාමන අධිකාරී පනතේ 109 වන වගන්තිය යොදා ගනිමින් මේ ඖෂධය මෙරටට ගෙන්වා තිබුණේ, ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියෙන් තොරවයි.
පනතේ 109 වන වගන්තියට අනුව ජීවිතයක් බේරා ගැනීම හෝ බෝවන රෝග තත්ත්වයක් පාලනය කර ගැනීම වැනි විශේෂ අවස්ථානුගත කරුණුවලදී ජාතික හදිසි අවශ්‍යතාවක් හෝ ජාතික ආරක්ෂාව සඳහා යම් ඖෂධයක් නිශ්චිත ප්‍රමාණයකින් ආනයනය කිරීමට ඖෂධ නියාමන අධිකාරියට අවසර ලබා දිය හැකියි.
නමුත් පනතේ සඳහන් ආකාරයට ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කළ ඉල්ලීමක් හෝ නිර්දේශයක් අවශ්‍ය වේ.
ප්‍රශ්නගත බුපිවකේන් හයිඩ්රෝක්ලෝරයිඩ් ඉන් ඩෙක්ට්‍රෝස් නමැති එම නිර්වින්දන ඖෂධය ඉන්දීය සමාගමකින් ගෙන්වා තිබුණේ, මේ ප්‍රතිපාදනය යටතේයි.
එහෙත් ඖෂධය ලබාදීමෙන් පසුව ඇතිවූ සංකූලතා පිළිබඳව ලැබුණු පැමිණිලි සමග ප්‍රශ්නගත කාණ්ඩවල සාම්පල ඖෂධ නියාමන අධිකාරියේ ජාතික ඖෂධ තත්ත්ව සහතික විද්‍යාගාරය පරීක්ෂා කර තිබේ.
එම පරීක්ෂණ වාර්තාවට අනුව අනාවරණයවී තිබුණේ, ඉන්දීය සමාගමෙන් ගෙන්වා තිබූ බුපිවකේන් හයිඩ්රෝක්ලෝරයිඩ් ඉන් ඩෙක්ට්‍රෝස් නමැති ඖෂධය ඇමරිකානු ඖෂධ ප්‍රමිතියට අනුකූලව නොතිබූ බවයි.
මේ නිසා වහාම ප්‍රශ්නගත බුපිවකේන් තොගය නිකුත් කිරීම අත්හිටුවන ලෙස ඖෂධ නියාමන අධිකාරිය නිර්දේශ කර තිබේ.
පනතේ වගන්තියක් උපයෝගී කරගෙන හදිසි අවශ්‍යතාවන් මතුකර ගෙන්වූ මේ ඖෂධය රෝගීන්ට ලබාදීමට පෙර නිසි නියාමන ක්‍රමවේදය අනුගමනය කර ගෙන්වීමට පියවර ගත්තේ නම් වටිනා ජීවිත බේරාගන්නට හැකියාව නොතිබුණේ ද?
මේ අතර සෞඛ්‍ය ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේදීත් ප්‍රකාශ කළේ, පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරුන් අද අමාත්‍යාංශයට කැඳවා විමර්ශන සිදු කරන බවයි.
ඔහු ඒ බව පැවසුවේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.