ටයිටන් යාත්‍රාවට සිදුවූයේ කුමක්ද ?

ටයිටැනික් සුන්බුන් ලබන්න ගිය ටයිටන් යාත්‍රාවට සිදුවූයේ කුමක්ද ?

by Staff writer 22-06-2023 | 12:08 PM

COLOMBO (News 1st) – අතීතයේ එක්තරා දිනෙක, මුහුදු රළ අතර සැඟව ගිය ටයිටැනික් ඛේදවාචකය වෙත ලෝකයේ අවධානය නැවතත් යොමුව තිබේ.

ඒ, ටයිටැනික් සුන්බුන් නැරඹීමට ගිය ටයිටන් යාත්‍රාව පසුගිය ඉරිදා සිට අතුරුදන් වීමෙන් පසුවයි.

ටයිටන් යාත්‍රාවට සිදුවුණේ කුමක්ද ?
 
පසුගිය ඉරිදා ටයිටන් යාත්‍රාවෙන් ටැයිටැනික් සුන්බුන්  නැරඹීම සඳහා පිටත්ව ගියේ තවත් පස් දෙනෙකු ද සමගයි.  


ගුවන් සමාගමක සභාපතිවරයෙකු වන හමීෂ් හාඩින් - පකිස්ථානයේ ප්‍රකට ව්‍යාපාරික පවුලක සාමාජිකයන් වන එන්ග්‍රෝ කෝපරේෂන් සභාපති, ශසඩා ඩාවුඩ් සහ ඔහුගේ පුත්‍රයා වන සුලේයිමාන් සමග ටයිටන් යාත්‍රාව අයත් ඕෂන් ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සහ නිර්මාතෘ ස්ටොක්ටන් රෂ් සහ නියමු ප්‍රංශ ජාතික පෝල් හෙන්රි එම 5 දෙනායි.
 
ඇමරිකාවේ නිව් සවුත්වේල්ස්හි සෙන්ට් ජෝන්ස් ප්‍රදේශයෙන් ඔවුන් පිටත්ව ගොස් තිබූ අතර, ඉන් පැයකුත් විනාඩි 45කට පසු යාත්‍රාව සමග සියලු සන්නිවේදන සබඳතා ඇණ හිට ඇත. 


ටයිටැනික් නෞකාවේ සුන්බුන් මීටර 3800 ක් පමණ ගැඹුරු මුහුදු පත්ලේ තැන්පත් වී ඇති අතර
අඩි 22ක් පමණ දිග කිලෝ ග්‍රෑම් 10,000කට වඩා බරැති ටයිටන් යාත්‍රාවට ඒ ආසන්නයටම ගමන් කළ හැකියි.

අඩි 22 ක් පමණ දිග මෙම යාත්‍රාව කිලෝග්‍රෑම් 10,432ක බරකින් යුක්තයි.

අතුරුදන් වූ යාත්‍රාව සොයාගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක අතර, යාත්‍රාවේ සිටින පුද්ගලයින්ට ඔක්සිජන් ඇත්තේ දින 4ක් සඳහා පමණි. 

ඒ අනුව, ඔක්සිජන් ප්‍රමාණය අදින් අවසන් වන බව විදෙස් වාර්තාවල දැක්වේ. 

මහා සයුරක් මැද, කුඩා අල්පෙනෙත්තක් බඳු යාත්‍රාවක් සොයා ගැනීම සිහිනයක් බඳුයි.

අතුරුදන් වූ ප්‍රදේශය ආශ්‍රිතව යම් ශබ්දයක් ඇසුණු බව අමෙරිකානු වෙරළාරක්ෂක බලධාරීන් ඊයේ සඳහන් කළේ ය.  

ඔවුන් පැවසුවේ යමකට තදින් පහර දෙන එම ශබ්දය,, කුඩා යාත්‍රාවෙන් නිකුත් වී ඇති බවට සැක කළ හැකි බවයි.