ඒ කාණ්ඩය යටතේ තරග දෙකක් අද (20)

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ තරග දෙකක් අද (20)

by Staff writer 20-06-2023 | 9:51 AM

COLOMBO (News 1st) - 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ තරග දෙකක් අද සිම්බාබ්වේ හරාරේහිදී පැවැත්වේ.

පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ නෙදර්ලන්තය අතරයි.

ක්‍රෙයිග් අර්වින්ගේ නායකත්වයෙන් යුත් සිම්බාබ්වේ කණ්ඩායම තරගාවලිය තුළ මුහුණ දෙන දෙවැනි තරගය මෙය වන අතර ඔවුන් නේපාලය සමග පැවති තරගය කඩුලු 8කින් ජය ගත්තේ ය. 

නෙදර්ලන්ත කණ්ඩායම මෙවර තරගාවලියේ ක්‍රීඩා කරන පළමු තරගය මෙයයි.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ගමන ඇරඹීමේ අරමුණින් අද ඔවුන් ස්කොට් එඩ්වර්ඩ්ස්ගේ නායකත්වයෙන් යුතුව තරගයට පිවිසෙයි. 

අද දෙවැනි තරගය පැවැත්වෙන්නේ නේපාල සහ අමෙරිකා කණ්ඩායම් අතරයි.

රොහිත් පැවුඩෙල් මෙහෙයවන නේපාල කණ්ඩායමට ඔවුන් ක්‍රීඩා කළ පළමු තරගය සිම්බාබ්වේ හමුවේ පරාජය වීමට සිදුවිය. 

අමෙරිකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ මොනාන්ක් පටෙල් ය.

ඔවුන්ට ද ක්‍රීඩා කළ පළමු තරගය පරාජය වීමට සිදුවුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේයි.

අද පැවැත්වෙන මෙම තරග දෙකම හරාරේහිදී මෙරට වේලාවෙන් අද දහවල් 12. 30ට ආරම්භ වීමට නියමිතයි.

තරග දෙකම සජීවීව TV 1 සහ සිරස TV නිල වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.