සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 6ක ජයක්

නෙදර්ලන්තයට එරෙහි තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 6ක ජයක්

by Staff writer 20-06-2023 | 9:06 PM

COLOMBO (News 1st) – ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහි තරගය සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6කින් අද ජය ගත්තේ ය. 

ඒ කාණ්ඩයෙන් ක්‍රියාත්මක තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. 

ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ලට මැක්ස් ඔ'ඩවුඩ් සහ වික්‍රම්ජිත් සිං ලකුණු 120ක සාර්ථක සබඳතාවක් ගොඩනැගූහ. 

මැක්ස් ඔ'ඩවුඩ් ලකුණු 59යි.

දක්ෂ ඉනිමක් ක්‍රීඩා කළ වික්‍රම්ජිත් සිං ලකුණු 88ක් රැස් කළේ ය.

4 පහර 9ක් එම ඉනිමට ඇතුළත් ය.

නායක ස්කොට් එඩ්වඩ්ස් ලකුණු 83ක් රැස් කළේ ය. 

සිකන්දර් රාසා කඩුලු 4ක් දවා ගත් අතර රිචඩ් නගරාවා කඩුලු 2යි. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස් කළේ ය. 

සිම්බාබ්වේ කණ්ඩායමේ පිළිතුරු ඉනිම වෙනුවෙන් ජොයිලෝඩ් ගුම්බි සහ ආසිෆ් ෂෙයික් අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 80 කි. 

නායක ක්‍රෙයිග් අර්වින් අර්ධ ශතකයක් රැස් කළේ ය. 

වේගවත් පිතිහරඹයක නිරත වූ ශෝන් විලියම්ස් පන්දු 58කින් ලකුණු 91යි.

4 පහර 10ක් සහ 6 පහර 2ක් එම ඉනිමට ඇතුළත් ය.

පන්දු 54කින් නොදැවී ලකුණු 102ක් රැස් කළ සිකන්දර් රාසා සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය. 

ඔහු අද වාර්තා අතරට එක් වූයේ සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් වේගවත්ම එක්දින ශතකය රැස් කළ ක්‍රීඩකයා ලෙසයි.

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 40යි පන්දු 5ක් අවසානයෙදී කඩුලු 6ක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය. 


මේ අතර ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අමෙරිකාවට එරෙහි තරගය නේපාලය කඩුලු 6කින් අද ජය ගත්තේ ය. 

ඒ කාණ්ඩයේ මූලික වටයේ තරගයක් වන මෙහි කාසියේ වාසිය දිනූ නේපාලය පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා අමෙරිකා කණ්ඩායමට ආරාධනා කළේ ය. 

ඒ අනුව පිටියට පිවිසි අමෙරිකා කණ්ඩායමට සාර්ථක ලකුණු සබඳතා ගොඩනැගීමට කරන් කේ.සී. ප්‍රමුඛ නේපාල පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

අමෙරිකා මුල් පෙළ කඩුලු 5 ලකුණු 65කදී බිඳ වැටිණ. 

ආරම්භක පිතිකරු සුෂාන්ත් මෝදානි ලකුණු 42යි.

අමෙරිකා ඉනිම ගොඩනැගූ ෂයින් ජහන්ගීර් තම මංගල එක්දින ශතකය අද රැස් කළේ ය. 

ඔහුගේ ඉනිමට 4 පහර 10ක් සහ 6 පහර 3ක් ඇතුළත් ය.

කරන් කේ.සී. කඩුලු 4ක් දවා ගත් අතර ගුල්සන් ජා කඩුලු 3යි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි නේපාලයේ පළමු කඩුල්ල ලකුණු 25කදී බිඳ වැටිණ. 

ආරම්භක පිතිකරු කුෂල් බර්ටල් ලකුණු 39යි.

නායක රෝහිත් පෝඩෙල් ලකුණු 16කට දැවී ගියේ ය.

බිම් ෂර්කි නොදැවී ලකුණු 77යි.

පේන්ද්‍ර සිං අයිරි නොදැවී ලකුණු 39ක් රැස් කරගෙන සිටියේ ය. 

නේපාලය තරගය ජය ගත්තේ පන්දුවාර 43ක් අවසානයේදී කඩුලු 6ක් දැවී සිටියදීයි.