ටයිටැනික් නැවේ සුන්බුන් බලන්න ගිය ටයිටන් අතුරුදන්

ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීමට යාත්‍රා කළ සබ්මැරීනයක් අතුරුදන්

by Staff writer 20-06-2023 | 8:59 PM

COLOMBO (News 1st) – ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා යාත්‍රා කළ සබ්මැරීනයක් අතුරුදන්ව තිබේ. 

ඒ, ව්‍යාපාරිකයින් ඇතුළු 05 දෙනෙකු සමගයි.  


සබ්මැරීනයකට වඩා කුඩා මෙම යාත්‍රාව හඳුන්වන්නේ 'ටයිටන්' ලෙසයි.

ඕෂන් ගේට් නමැති ඇමරිකානු සමාගමට එය අයත් ය.

ඔවුන් අදාළ යාත්‍රාව යොදා ගන්නේ මීට වසර 111 කට පෙර ගිලී ගිය සුප්‍රසිද්ධ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට සංචාරකයින් රැගෙනයාම සඳහායි.  

දකුණු අත්ලාන්තික් සාගරයේ ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට එක්වූ තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකු සමග පසුගිය 18 වැනිදා ටයිටන් දියත්ව තිබේ.  

ඒ සෙඳහා එක් අයෙකු වැයකර ඇති මුදල ඇමරිකානු ඩොලර් 250,000 කි.

මීටර් 3800ක ගැඹුරේ පිහිටි නෞකා සුන්බුන් වෙත කිමිදීම ඇතුළු දින 8ක සංචාරයක් මෙම මුදලට හිමිවේ.  

අදාළ සංචාරයට එක්වූවන් අතර ගුවන් සේවා සමාගමක සභාපතිවරයෙකු වන හමිෂ් හාඩින්,පාකිස්තානයේ ප්‍රකට ව්‍යාපාරික පවුලක සාමාජිකයන් වන එන්ග්‍රෝ කෝපරේෂන් සභාපති ෂසඩා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමාන් ද සිට ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.

යාත්‍රාව අයත් ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ එහි නිර්මාතෘ ස්ටොක්ටන් රෂ් ද මෙම සංචාරයට එක්ව තිබේ. 

ප්‍රංශ ජාතික පෝල් හෙන්රි නර්ගෙලොට් සබ්මැරීනයේ නියමුවායි.

නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි සේන්ට් ජෝන්ස් සිට පෙරේදා යාත්‍රාවේ ගමන ආරම්භ විය.  

එහෙත් එය ගමන් අරඹා පැයකුත් විනාඩි 45 කට පසු සබඳතා බිඳවැටීමෙන් ගිනිකොණදිග කැනේඩියානු වෙරළට ඔබ්බෙන් අතුරුදන්ව තිබේ.  

අතුරුදන්වන විට දින 4 ක් සඳහා ප්‍රමාණවත් ඔක්සිජන් එහි තිබූ බව විදෙස් වාර්තාවල සෙඳහන් ය.   

මේ වන විට ඇමෙරිකාව, කැනඩා නාවික හමුදාවන්ගේ මූලිකත්වයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.