ශ්‍රී ලංකාව පළමු ජය වාර්තා කරයි

ලෝක කුසලාන සුදුසුකම් තරගාවලියේ ශ්‍රී ලංකාව පළමු ජය වාර්තා කරයි

by Staff writer 19-06-2023 | 9:19 PM

COLOMBO (News 1st) - 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ, එක්සත් අරාබි එමිර් කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 175කින් ජය ගනිමිනි.

බුලවායෝහිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමිර් කණ්ඩායමේ නායක මුහම්මද් වසීම් පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 95ක් සබඳතාවයක් ගොඩනැගීය.

දිමුත් කරුණාරත්න ඔහුගේ 9වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 52යි.

පැතුම් නිස්සංක ලකුණු 57ක් රැස් කළේ සිය 8වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කර ගනිමිනි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ඔහුගේ 22වැනි එක්දින අර්ධ ශතකය අද රැස් කළේ ය.

ඔහු හතරේ පහර 10ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 78කි.

කුසල් මෙන්ඩිස් සමග කඩුල්ලේ ස්ථාවර වූ සදීර සමරවික්‍රම තුන්වැනි කඩුල්ලට ශතක සබඳතාවයක් ගොඩ නැගුවේ ය.

සිය දෙවැනි එක්දින අර්ධ ශතකය සමග සදීර සමරවික්‍රම ලකුණු 73යි.

අවසන් පන්දුවාර කිහිපයේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට ගෙන ආ චරිත් අසලංක නොදැවී ලකුණු 48ක් රැස් කළේ ය.

ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වේ.

වනිදු හසරංග නොදැවී ලකුණු 23යි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 355ක් රැස් කළේ ය.

ලකුණු 356ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එක්සත් අරාබි එමිර් කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 94කදී බිඳ වැටුණි.

ඉන් කඩුලු 3කටම හිමිකම් කීවේ වනිදු හසරංග.

අනතුරුව ක්‍රියාත්මක වූ ධනංජය ද සිල්වා එමිර් කණ්ඩායමේ පස්වැනි කඩුල්ල දවා ගත්තේ ය.

හයවැනි කඩුල්ලට පිටියේ එක්වූ රමීස් ෂහ්සාඩ් සහ අලි නසීර් ගොඩනැගු සබඳතාවය ලකුණු 48කි.

ලකුණු 34ක් රැස් කරගෙන සිටි අලි නසීර් මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 24කට කඩුලු 6ක් බිඳ හෙළීය.

එක්සත් අරාබි එමිර් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 180ක් පමණි.

ඒ අනුව තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ලබන සිකුරාදා ඕමානය සමග පැවැත්වීමට නියමිතයි.

එම තරගය සජීවීව සිරස TV ඔස්සේත් අනෙකුත් සියලුම තරග TV1 නාලිකාව ඔස්සේත් ඔබට නැරඹිය හැකියි.