බුපිවකේන් නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවත් කෙරේ

ඉන්දියාවෙන් ගෙන් වූ බුපිවකේන් නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට

by Staff writer 19-06-2023 | 5:39 PM

COLOMBO (News 1st) - නිර්වින්දනය සඳහා භාවිත කරන ඉන්දියාවෙන් ගෙන් වූ බුපිවකේන් නමැති ඖෂධය භාවිතයෙන් ඉවත් කළ බව ඖෂධ නියාමන අධිකාරිය අද (19) ප්‍රකාශ කර තිබේ.

එම අධිකාරිය කියා සිටියේ, මේ ඖෂධ භාවිත කිරීමෙන් පසුව රෝගීන් දෙදෙනෙකු මියගිය බව වාර්තාවීමෙන් පසුව මේ පියවර ගත් බවයි.

මහනුවර, මාඋස්සාව කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ඒ.ජී.කරුණාවතී මහත්මිය හර්නියා රෝගය සම්බන්ධයෙන් සැත්කමකට ලක්ව තිබුණේ පසුගිය මාර්තු මස 31 වැනි දායි.

ඒ, සඳහා ඊට පෙරදින ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.

දින දෙකකින් නැවත නිවසට පැමිණිමේ බලාපොරොත්තු වෙන් සැත්මකට මුහුණ දුන්නත් ඇයට සිදුව තිබුණේ, රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ගැනීමටයි.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඒ.ජී.කරුණාවතී මහත්මිය පසුගිය 15 වැනි දා මියගොස් තිබුණි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසුවේ, නිර්වින්දන එන්නත ලබාදීමෙන් අනතුරුව ඇය අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

මීට මාස දෙකකට පෙර දරු ප්‍රසූතියක් සඳහා ඇතුළත් වූ කාන්තාවක් ද සිසේරියන් සැත්කම සඳහා අදාළ නිර්වින්දන එන්නත ලබාදීමෙන් පසුව මියගිය බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා තහවුරු කළේ ය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ එකමුතුව අනාවරණය කළේ, ඖෂධ නියාමන අධිකාරීයේ අවසරය සහිතව මෙම ඖෂධය මෙරටට ගෙන්වා ඇති බවයි.

මේ අතර ඖෂධ නියාමන අධිකාරිය අද ප්‍රකාශ කළේ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී රෝගීන් දෙදෙනෙකුට මියයාමට පෙර භාවිත කළ නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවත් කළ බවයි.