ඖෂධ වර්ග 2ක ගුණාත්මකභාවය යළි විමර්ශනයට..

ආන්දෝලනාත්මක ඖෂධ වර්ග 2ක ගුණාත්මකභාවය යළි පරීක්ෂා කිරීමේ තීරණයක්.. - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 19-06-2023 | 10:31 AM

COLOMBO (News 1st) –  ඖෂධ වර්ග 2ක ගුණාත්මකභාවය යළි පරීක්ෂාවට ලක්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

එහි ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්තා මහතා පැවසුවේ, ඖෂධ ලබාගැනීමෙන් පසු රෝගීන් මියයාම සහ විවිධ ආසාත්මිකතාවලට ගොදුරුවීම සළකා බලා එම තීරණය ගත් බවයි.

ආන්දෝලනයට තුඩු දී ඇති අදාළ ඖෂධ වර්ග දෙක ඉන්දියානු ණය පහසුකම යටතේ මෙරටට ලැබී ඇතැයි ද, ඔහු පැවසුවේ ය.

ලේකම්වරයා සඳහන් කළේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියට යටත්ව එම ඖෂධ වර්ග දෙක මෙරට භාවිතයට ගෙන ඇති බවයි.

මේ අතර, ඖෂධ වර්ග භාවිතයෙන් පසු රෝගීන් මියයාම සහ ආසාත්මිකතා වලට ගොදුරුවීම සම්බන්ධයෙන් වාර්තා වූ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කමිටුවක් පත් කළ බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්තා මහතා සඳහන් කළේ, සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ කමිටුව ක්‍රියාත්මක බවයි.

ඖෂධ භාවිතයෙන් පසු මරණයට පත්වූ සහ ආසාත්මිකතා වලට ගොදුරු වූ පුද්ගලයින්ට ඖෂධ සමාගම් වලින් වන්දි අයකරගැනීමේ ක්‍රමවේදය පිළිබඳවද කමිටුව සොයා බලන බව, ලේකම්වරයා ප්‍රකාශ කළා.

එන්නතක් ලබාදීමෙන් පසුව, අසාධ්‍යව පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් පසුගියදා මියගියා.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසුවේ හර්නියා සැත්කමක් වෙනුවෙන් මීට මාස දෙකකට පෙර ඇයට එම නිර්වින්දන එන්නත ලබාදී ඇති බවයි.

ඉන් අනතුරුව ඇය අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව, වෛද්‍යවරයා සඳහන් කළේ ය.

මීට අමතරව, මීට මාස දෙකකට පෙර දරු ප්‍රසූතියක් සඳහා ඇතුළත් වූ කාන්තාවක් මියගියේ ද අදාල නිර්වින්දන එන්නත ලබාදීමෙන් පසුව බව පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

මේ අතර, විෂබීජයක් හේතුවෙන් අක්ෂි සැත්කම් සදහා භාවිත කරන ප්‍රෙඩ්නිසිලෝන් නැමති ඖෂධය මෙරට අසාදු ලේඛන ගත කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තේ ය.