විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නැයි නියෝග...

අධිකරණය හමුවේ පෙනී නොසිටි විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නැයි නියෝග..

by Staff writer 19-06-2023 | 1:12 PM

COLOMBO (News 1st) – හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණය අද(19) වරෙන්තු නිකුත් කළේ ය. 

ඒ, නඩු කටයුත්තක් වෙනුවෙන් අද අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ය.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ යැයි චෝදනා කරමින්, ගොනුකර තිබූ නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා ඉදිරියේ කැඳවූවේ ය. .

නඩුවේ පළමුවන සැකකරු වශයෙන් නම් කර සිටින විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.
 
නඩුවේ තවත් සැකකරුවෙකු වන වීරකුමාර දිසානායක මහතා ද අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 

නඩුවේ සෙසු සැකකරුවන් වන මොහොමඩ් මුසම්මිල්, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න, පියසිරි විජේනායක යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටිය හ.

එහිදි මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, නඩුව කැඳවන සෑම දිනයකම එක් එක් සැකකරුවන් මාරුවෙන් මාරුවට අධිකරණය හමුවේ පෙනී නොසිටීමෙන් නඩුව කිසිදිනක විභාගයට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවයි

සැකකරුවන් අධිකරණයේ පෙනී සිටීම මඟහැරිය හොත් ඔවුන් සියලුදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර නඩුව විභාග කිරීමට සිදුවන බව, මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ ය.

නඩුව සැප්තැම්බර් මස 11 වැනිදා යළි කැඳවීමට නියමිතයි.