කුරුන්දි විහාරයට අයත් ඉඩම් ගැන දැනුම් දීමක්

කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නැහැ...- ජනපති ලේකම්

by Staff writer 16-06-2023 | 7:00 AM

 COLOMBO (News 1st) –  කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නොමැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි. 

ඒ , පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් වෙත ලිපියක් යොමු කරමින් ය.

පසුගිය 08 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් එම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළේ ය.

ඉන් උන්වහන්සේ ජනාධිපතිවරයාට පැවසුවේ, විහාරය සතු ඉඩම් වෙනත් පාර්ශවයකට පැවරිමෙන් වළකින ලෙසයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් එල්ලාවල මේධානන්ද හිමියන්ට යැවූ ලිපියේ දැක්වෙන්නේ කුරුන්දි විහාරය, ශ්‍රී ලාංකික අපගේ වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් බවයි.

කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එහි සඳහන් ය.

කුරුන්දි විහාරය අවට කුඹුරු ඉඩම් කිහිපයක් සම්බන්ධයෙන් මතු වී ඇති ප්‍රශ්නය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයාට හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇති බව ජනාධිපති ලේකම්වරයාගේ ලිපිය වැඩිදුරටත් කරුණු දක්වා තිබේ. 

රජයේ බලාපොරාත්තුව වන්නේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන මෙන්ම ඉඩම් ද හඳුනා ගෙන ඒවා දිස්ත්‍රික් ලේකම්වරයා භාරයේ තැබීමට කටයුතු කිරීම බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.