පොලිස් රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑ 4 ක් කොටු..

කිලිනොච්චියේදී පොලිස් රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑ සිද්ධිය - තවත් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 16-06-2023 | 7:05 AM

COLOMBO (News 1st) –  කිලිනොච්ච්, මරදන්කේනි පොලිස් වසමේ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු හා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් එක් සැකකාරියක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාගේ කාර්යාලයේ සේවය කරන 53 හැවිරිදි පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි.

අනෙක් සැකකාරිය 54 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි ගුරුවරියකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රිවරයාගේ රියැදුරෙකුද වෙයි. 

ඔහු 40 හැවිරිදි වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

43 හැවිරිදි අනෙක් සැකකරු යාපනය ප්‍රදේශයේ ගුරු සංගමයක උප සභාපතිවරයෙකු බව පොලිසිය පැවසුවේ ය.

ඔවුන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරි බව පොලිසිය සඳහන් කළේ ය.

පසුගිය දෙවැනිදා වූ එම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණු අතර ඔහුද ශරීර ඇප මත මුදා හැරීමට කිලිනොච්චි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.