සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරියගෙන් නිවේදනයක්..

සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීමට වැඩි අවධානයක් යොමු කරන්න -සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරියගෙන් උපදෙස්..

by Staff writer 15-06-2023 | 2:38 PM

COLOMBO (News 1st) –  ඩෙංගු ආසාදිතයෙකු ලෙස තහවුරු කරගන්නා තුරු සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කර ගත යුතු බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුව පෙන්වා දෙයි. 

එම කමිටුවේ සභාපති සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අර‍ඹේපොල මහත්මිය පෙන්වා දෙන්නේ, ඩෙංගු ආසාදිතයකුගෙන් මදුරුවන් හරහා තවත් අයෙකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගින් මදුරුවන් ගෙන් ආරක්ෂා කර ගත යුතු බවයි.

පවතින ඩෙංගු තත්ත්වය මැඩපැවැත්වීම සඳහා රෝග වාහකයින් පාලනය කිරීමට කඩිනම් පියවර ගත යුතු බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළා ය.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, ඩෙංගු මර්දන විශේෂඥ කමිටුව අද රැස්වු අවස්ථාවේදී ය.

රෝහල් ආශ්‍රිතව ඩෙංගු පාලනයට වෙනම මාර්ගෝපදේශ සකස් කරන ලෙසටද මෙහිදී උපදසේ ලබා දී තිබේ.  

සෞඛ්‍ය අංශ මෙහිදී පෙන්වා දී ඇත්තේ රෝහල් ආශ්‍රිතව ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීමේ අරමුණින් උණ රෝගීන් සඳහා පමණක් වෙන් කළ ස්ථානවල ඔවුන් හුදෙකලා කළ යුතු බවයි.

මේ අතර , ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝ වන ස්ථාන ලෙස පාසල්, පූජනීය ස්ථාන, රජයේ සහ පෞද්ගලික ආයතන, වෙළෙඳ පරිශ්‍ර මෙන්ම අත්හැර දමා ඇති බිම් කොටස් පරීක්ෂා කිරීම සඳහා සතියේ දින පහ වෙන් කර ගන්නා ලෙසත්, ස්ථානීය පරීක්ෂාවන් සඳහා පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නා ලෙසත් සීතා අරඹේපොල මහත්මිය අදාළ අංශ වෙත උපදෙස් දුන්නා ය.

පාසල් සිසුන් අතර, ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ අතර, එය අනිවාර්ය නොවන මෙන්ම දෙමව්පියන්ට අමතර වියදමක් නොවන ලෙස සිදු කළ යුතු බවටත් සාකච්ඡා කෙරිණ.