.webp)
COLOMBO (News 1st) – ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා ඒ බව සඳහන් කෙළ්, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහාය වීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට එක් වෙමිනි.
මෙරට මානව සම්පත පෙළගැස්වීමත්, අධ්‍යාපන ක්‍රමයෙන් දැනුම කුසලතා හා හැකියාවන්ගෙන් සමන්විත ශ්‍රම බලකායක් ගොඩනැගීම සහ ශ්‍රී ලංකාව කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමත් අරමුණු කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව 10 දෙනෙකුගෙන් සමන්විතව එම අධ්‍යාපන අමාත්‍ය කමිටුව පත් කර තිබේ.
ඊට සහාය වීම සඳහා පත් කර ඇති මෙම විශේෂඥ කමිටුව මගින් පූර්ව ළමාවිය සහ පෙරපාසල් අධ්‍යාපනය, ප්‍රථමික හා ද්විතියීක අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර 05 ඔස්සේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ සොයා බලා සකස් කරන ලද වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා ඇත්තේ 2048 දී ශ්‍රී ලංකාව දියුණු රටක් කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ දී නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් මෙන්ම පුහුණු ශ්‍රම බලකායක් රටට අවශ්‍ය බවයි.
විභාග නියමිත කාලසීමාවන් තුළදී පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා අ.පො.ස (උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බවත්, එය වෙනස්කරන්නේ නම්, ඒ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු අතර අතිශය බරපතළ තත්ත්වයක හැර එය වෙනස් කිරීමට නොහැකි වන අන්දමින් නීති සකස් කරන බවත් අවධාරණය කර තිබේ.
තව ද වසර 13ක කාලයක් ළමුන් පාසල් අධ්‍යාපනය තුළ රඳවා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදි ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කර ඇති අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ අවශ්‍යතාව පිළිබඳ කඩිනමින් සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බව ද ප්‍රකාශ කර ඇත.
එසේම අධ්‍යාපනය තාක්ෂණය සමග බද්ධව ඉදිරියට යාමේ අවශ්‍යතාවත්, පාසල් පද්ධතියේ ප්‍රමිතිය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇති අතර පාසල් ළමුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි ද අවධානය යොමු කර තිබේ.