මරණ දඬුවම නියමව සැඟව සිටි චූදිතයෙක් අත්අඩංගුවට

මරණ දඬුවම නියමව සැඟව සිටි චූදිතයෙක් රාගමදී අත්අඩංගුවට

by Staff writer 15-06-2023 | 1:32 PM

COLOMBO (News 1st) – මරණ දඬුවම නියමව සැඟව සිටි චූදිතයෙකු රාගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය  සඳහන් කළේ, වයස අවුරුදු 54 ක පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

රාගම ප්‍රදේශයේදී  පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධව අදාළ පුද්ගලයාට සහ ඔහුගේ සහෝදරයාට 2001 වසරේදී චෝදනා එල්ල වී තිබිණ. 

ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධානාගරගතව සිට ඇති අතර 2004 වසරේ ඇතිවූ සුනාමි ඛේදවාචක‍ය අවස්ථාවේදී මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට බස් රථයකින් රැගෙන යමින් සිටියදී අදාළ පුද්ගලයා නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබේ.

පසුව බන්ධනාගාරගතව සිටි පුද්ගලයා 2012 වසරේදී නිදොස් කොට නිදහස් කෙරුණු අතර පලා ගිය සැකකරුට මරණීය දණ්ඩනය නියම කිරීමට අධිකරණය තීරණය කළ බව සඳහන් ය. 

ඊයේ දින අත්අඩංගුවට ගත් මරණ දඬුවම නියමව සැඟව සිටි අදාළ චූදිතයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.