ජනපති හා ආණ්ඩු පක්ෂ නායකයින් අතර අද සාකච්ඡාවක්

ජනපති හා ආණ්ඩු පක්ෂ නායකයින් අතර අද සාකච්ඡාවක්

by Staff writer 14-06-2023 | 5:55 AM

COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් අද (14) පැවැත්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද පස්වරු 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල නායකයින්ට ඒ සඳහා ජනාධිපති කාර්යාලයෙන් නිල වශයෙන් ආරාධනා කර ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුවේ කටයුතු සිදු කරගෙන යාමේදී උද්ගත වන ගැටලු පිළිබඳව සාකච්ජා කිරීම ඇතුළු වැදගත් කරුණු රැසක් සාකච්ජා කිරීමේ අරමුණින් මෙම සාකච්ජාව කැඳවා ඇතැයි සඳහන් වේ.

ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ කැඳවා තිබූ සාකච්ඡාවට පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් සහභාගී වුයේ නැත.

ඒ සිය පක්ෂයේ දිස්ත්‍රික් නායකයින් කැඳවන්නේ නම් ඒ පිළිබඳව පක්ෂය දැනුවත් කර එය සිදු කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට මීට පෙර දැනුම් දී තිබිම හේතුවෙනි.

කෙසේ වෙතත් අද පැවැත්වෙන හමුව සඳහා ආණ්ඩුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ට නිල වශයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වනු  ඇත.