වසරේ අවසන් කාර්තුවේදී ආර්ථික වර්ධනය ධන අගයක්

වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය ධන අගයක්ගත හැකියි - මුදල් රාජ්‍ය ඇමති

by Staff writer 13-06-2023 | 6:19 AM

COLOMBO (News 1st) - වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය ධන අගයක් ගනු ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය ආයතන විවිධ පුරෝකතනයන් සිදු කළ ද පසුගිය වසරේ ද එම පුරෝතකනයන් ඉක්මවා මෙරට ආර්ථිකය මෙහෙයවීමට හැකි වූ බවයි. 

ලෝක බැංකු පුරෝකතනයන්ට අනුව මේ වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 4.2 ක අගයක් ගන්නා බවට පුරෝකතනය කෙරෙනු ඇත.

එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකතනය කරන්නේ, මෙරට ආර්ථික වර්ධන වේගය මේ වසර තුළ සෘණ 3.0 ක් වනු ඇති බවටයි.

කෙසේ වෙතත් මහ බැංකු පුරෝකතනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 2 - 3 අතර අගයක් ගනු ඇති බවට පැවසෙනු ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ, සියලු දෙනා ජාතික නිෂ්පාදිතයට එකතු කරන තම තමන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීමට අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතු බවයි.

එසේ කළහොත් මෙම වසරේ අවසන් කාර්තුව වනවිට මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පවසා ඇත්තේ, ඊයේ (12) පස්වරුවේ දෙහිඕවිට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.