මුල්ලේරියාවේ දරුවාට ඇත්තටම මොකද වුණේ?

මුල්ලේරියාවේ දරුවා තණකොළ කපන මැෂිමකට හසුවී තුවාල ලබා මියගොස් ඇති බව හෙළිවෙයි

by Staff writer 09-06-2023 | 6:55 PM

COLOMBO (News 1st) – මුල්ලේරියාව,හල්බරාවේ රජයට අයිති ඉඩමක තිබී ඊයේ පස්වරුවේ අවුරුදු පහ හමාරක පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමුවිය. 

දරුවා මිය ගොස් සිටියේ උදරයේ බරපතළ කැපුම් තුවාලයක් ද  සමගයි.

සිරුර තිබූ ඉඩමේ දරුවා සමග තණකොළ කැපීමට පැමිණි තවත් පුද්ගලෙයකු සිට ඇති අතර  සිරුර තිබූ ස්ථානයට නුදුරින් වීදුරු බෝතලයක කැබලි ද තිබී හමුවී ඇත. 

පියා නොමැති  මෙම මියගිය දරුවා මේ ඉඩමට ආසන්න නිවසක මව සමග ජීවත්ව සිට ඇති අතර මව රැකියාවකට යන බැවින් ඊයේ දිනයේ දරුවා රැක බලාගන්න වගකීම පැවරී තිබී ඇත්තේ, රජයේ ඉඩම මුරකරන දරුවාගේ මුත්තණුවන්ටය. 


දරුවා රැකබලාගන්න වගකීම පැවරුණ මුත්තණුවන් ඊයේ තම සහෝදරයා මිය ගිය බවට ලද තොරතුරත් සමග  දරුවාගේ වගකීම තණකොළ කැපීමට පැමිණි පුද්ගලයාට පවරා ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබිණ. 

දරුවාගේ මළ සිරුර පිළිබඳ සිද්ධිය වාර්තාවීමත් සමග පොලිසිය වහා පරීක්ෂණ ආරම්භ කළ අතර අද පස්වරුව වනවිට අනාවරණය වී තිබුණේ,  තණකොළ කැපීමට පැමිණි පුද්ගලයාගේ යන්ත්‍රයෙන් දරුවාගේ උදරයේ බරපතළ කැපුම් තුවාලය සිදුවී ඇති බවයි.

තණකොළ කපන යන්ත්‍රයේ දෝෂයක් පරික්ෂා කරමින් සිටියදී එය එකවර ක්‍රියාත්මවූ බව එම පුද්ගලයා ප්‍රකාශ කර තිබේ. 

ඔහු සඳහන්කර ඇත්තේ, අසල තිබූ විදුරු බෝතලයක්ද තලයට හසුවී කුඩු වූ බැවින් එම අවස්ථාවේ එකවරම යන්ත්‍රය එසවීමේදී අසල සිටි දරුවාගේ උදරයේ වැදුණු බවයි.

එහෙත් පොලිසිය මේ දරුවාගේ මරණයට හේතුව අනතුරක්ද නැත්නම් එය අපරාධයක් ප්‍රතිඵලයක්දැයි විමර්ශන සිදු කරමින් සිටී. 


අවුරුදු පහ හමාරක මේ දරුවා පාසල් අධ්‍යාපනය ආරම්භ කර ඇත්තේ, මේ වසෙර්දී ය. 

අපරාධයක් වුවත් , අනතුරක් වුවත් මේ අවාසනාවන්ත සිද්ධිය නැවත නැවතත් කියා පාන්නේ දරුවන්ගේ ආරක්ෂාව ගැන වැඩි හිටියන් මීට වඩා සැලකිලිමත් විය යුතු බව නොවේද?