මාලදිවයින් විදෙස් ඇමති සහ අගමැති දිනේෂ් අතර හමුවක්

මාලදිවයින් විදේශ ඇමති සහ අගමැති දිනේෂ් ගුණවර්ධන අතර හමුවක්..

by Staff writer 08-06-2023 | 3:40 PM

COLOMBO (News 1st) – දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුව තිබේ.  

ඒ, අරලියගහ මන්දිරයේදී ය. 

දැනට දෙරට අතර පවතින සහයෝගීතා ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම සහ වෙළෙඳාම , ආයෝජනය , අධ්‍යාපන සහ සංස්කෘතික ක්ෂේත්‍රවල නව සහයෝගීතා මාර්ග ගවේෂණය කිරීම පිළිබඳව එහිදි අදහස් හුවමාරු කර ගෙන තිබේ.  

මාලදිවයිනේ සිසුන්ට ගාස්තු අය කිරීමේ පදනම මත වෛද්‍ය අධ්‍යයන සහ පශ්චාත් උපාධි අධ්‍යයන ක්ෂේත්‍රවල අධ්‍යාපන අවස්ථා සඳහා පහසුකම් සලසා දෙන්නැයි මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් ද කළේ ය. 

සංචාරක හා බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂයෙන් සූර්ය බලශක්ති සහ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ. 

මේ අතර, මාලදිවයින සහ ශ්‍රි ලංකාව අවබෝධතා ගිවිසුම් 2කට ද අත්සන් තබා තිබේ.

ඒ, සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීමට හා දෙරට අතර සෞඛ්‍ය සහයෝගිතා ක්ෂේත්‍රය පිළිබඳවයි. 

විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙම ගිවිසුම් සඳහා ඊයේ අත්සන් කර තිබේ.