ලෝක ආහාර ආරක්ෂිතතා දිනය අදයි

ලෝක ආහාර ආරක්ෂිතතා දිනය අදයි

by Staff writer 07-06-2023 | 6:16 AM

COLOMBO (News 1st) - ලෝක ආහාර ආරක්ෂිතතා දිනය අදට (07) යෙදී තිබේ.

මෙවර එහි තේමාව, ආහාරවල ප්‍රමිතීන් ජීවිත ආරක්ෂා කරයි යන්නයි.

ආහාර මගින් ඇති විය හැකි අවදානම් වැළැක්වීම, හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ලෝක ආහාර ආරක්ෂිතතා දිනයේ අරමුණයි.

පෝෂණය සහ ආහාර ආක්‍ෂිතතාවය සමීපව බැඳී ඇත.

අනාරක්ෂිත ආහාර රෝග හා මන්දපෝෂණයේ විෂම චක්‍රයක් ඇති කරන බව සෞඛ්‍ය මතයයි.

ආහාර ආරක්‍ෂිතතාවය ඇති කිරීම රජයේ ආයතන, නිෂ්පාදකයින් සහ පාරිභෝගිකයින් අතර හවුල් වගකීමකි. 

පරිභෝජනය කරන ආහාර ආරක්ෂිත බවත් මිනිස් සෞඛ්‍යට හානිකර නොවන බවත් සහතික කිරීම සඳහා ගොවිපොළ සිට පාරිභෝගික මේසය දක්වා සෑම කෙනෙකුටම කාර්යභාරයක් තිබේ.

එය නිසි ලෙස සිදු කිරීම හරහා ගෝලීය වශයෙන් ආහාර මගින් බෝවන රෝග වැළැක්වීමට හැකියි.

ආහාරවල ආරකෂාව මුළු ලෝකයටම අභියෝගයක් බවට පත්ව ඇත.

ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට සමගාමීව ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟය හමුවේ ආහාර ආරක්ෂිතතාව පිළිබඳව වැඩි කතිකාවක් ගොඩ නැඟි ඇත්තේ මෙවන් පසුබිමකයි.

සියලු දෙනාම තර්ක විතර්ක ඉදිරිපත් කරමින් පවසන්නේ, වැඩි වැඩියෙන් ආහාර නිෂ්පාදනය කර ආරක්ෂිතව තබා ගැනීම පිළිබඳවයි. 

නමුත්, ආහාර ආරක්ෂිත කිරීමට පමණක් උත්සුක වුවහොත් ආහාරවල ආරක්ෂාව හීන වීම, ගිළිහියාම, නොසළකා හැරීම නිසා තවත් ජාතික අර්බුදයක් සිදු විමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩිය. 

එවැනි තත්ත්වයක් තුළ ආහාර පරිභෝජනය කරන රටේ ජනතාවට අත්වන ඉරණම කුමක්ද යන්න පිළිබඳව ආහාර ආරක්ෂිතා දිනය නිමිත්තෙන් අපි වැඩියෙන් අවධානය යොමු කළ යුතුව ඇත.

මෙරට ආහාර ප්‍රමිතිය සම්බන්ධ ගැටලු රැසක් පවතින බව ක්ෂේත්‍රයේ විශේෂඥයින් පෙන්වා දෙයි.

ඔවුන් සඳහන් කළේ, මෙය ජනතාවගේ සෞඛ්‍යට බලවත් තර්ජනයක් බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ මහාචාර්ය ඉරේෂා මෙන්ඩිස් මහත්මිය සඳහන් කළේ, ජනතාවට වස විසෙන් තොර ආහාර ලබා දීමට නිෂ්පාදකයා, ඇසුරුම්කරන්නා, බෙදා හරින්නා හා වෙළදුන් බැඳී සිටින බවයි.

එහෙත් විවිධ අවස්ථාවන්හිදී එම වගකීම් නිසි පරිදි ඉටු නොකිරීමෙන් ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු රැසක් පැන නැගෙන බව ද ඇය ප්‍රකාශ කළා ය.

අපේ රටේ අහාර සුරක්ෂිතතාව බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් වූයේ, කෘෂිකර්මාන්තය කඩා වැටීමයි.

විවිධ අවස්ථාවල බලධාරීන් ගත් ඇතැම් තීරණ නිසා ගොවින් ගැටලු රැසකට මුහුණ දුන්නේ ය.

රට ස්වයංපෝෂිත කිරීමට අපමණ වෙහෙසක් දරණ ගොවියා තවමත් ඉන්නේ නොවිසඳුණු ගැටලු රැසක් මැදයි.