.webp)
COLOMBO (News 1st) – මිහිකත සංරක්ෂණ මිහින්තලා ප්‍රතිඥාව ජනගත කිරීම ඊයේ (04) සිදු විය.
සිරස ටීවී සංවිධානය කළ මෙම වැඩසටහන පැවැත්වුණේ ඓතිහාසික මිහින්තලා පුදබිමේදී ය.
ලෝකයේ ප්‍රථම අභය භූමිය ලෙස සැලකෙන්නේ, මිහින්තලාව අභය භූමියයි.
මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම බුද්ධ වර්ෂ 236දී මිස්සක පව්වට වැඩම කරමින් දායාද කළ උතුම් බුදු දහමින් මෙරට සමස්ත සමාජයම පැහැදිලි වෙනසකට ලක්වූයේ එදා මෙදා තුර සිරිලකට ලැබුණු සුවිශේෂීම දායාදයක් බවට පත් වෙමින් ය.
මිහිඳු හිමියන් මිස්සක පව්වට වැඩම කර එවකට රාජ්‍ය නායකයා වූ තිස්ස රජු අමතමින් සඳහන් කළේ, රාජ්‍ය නායකයා යනු පරිසරයේ ආරක්ෂකයා මිස අයිතිකරුවා නොවන බවයි.
මෙවැනි විශේෂ සිදුවීමි සිහිපත් කරමින් හරිත පැහැති මිහිමඬල අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කර ඔවුන්ට පවරාදීම වෙනුවෙන් මිහිකත සංරක්ෂණ මිහින්තලා ප්‍රතිඥාව ජනගත කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුණි.
මේ අවස්ථාවට MTV ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ සුසාර දිනාල්, ස්ටයින් ස්ටුඩියෝ ප්‍රධාන විධායක නිලධාරි චන්දන සූරියබණ්ඩාර, සිරස ටී.වී. අධ්‍යක්ෂ ධර්මශ්‍රී ඒකනායක යන මහත්වරු මෙන්ම පාසල් දරු දැරියෝ එක්ව සිටිය හ.
මිහිකත සංරක්ෂණ මිහින්තලා ප්‍රතිඥාව ජනගත කළේ , MTV ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ සුසාර දිනාල් මහතා විසින්ය.
මිහිකත සංරක්ෂණ මිහින්තලා ප්‍රතිඥාවට අදාළව සිරස ටීවි ප්‍රධානත්වයෙන් ඉදිරියේ දී විවිධ වැඩසටහන් සිදු කිරීමට නියමිතයි.