නිරිතදිග මෝසම සක්‍රීයයි, ප්‍රදේශ කිහිපයකට වැසි

නිරිතදිග මෝසම සක්‍රීයයි, ප්‍රදේශ කිහිපයකට යළිත් වැසි

by Staff writer 05-06-2023 | 9:50 PM

COLOMBO (News 1st) - කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි, ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේ ත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි.

නිරිත දිග මෝසම ක්‍රමයෙන් දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර,ගාල්ල, කළුතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලට පැනවූ නායයාම් අවධානම් නිවේදනය, තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, නාගොඩ සහ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, වලල්ලාවිට, අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වනු ඇත.