මැතිවරණ කොමිසම පෑ විරෝධය

පළාත් පාලන ආයතන සම්බන්ධීකරණයට සංවර්ධන කමිටු විශේෂ නියෝජිතයින් පත් කිරීමට එකඟ නැහැ - මැතිවරණ කොමිසම

by Staff Writer . 04-06-2023 | 7:29 AM

COLOMBO (News 1st) - පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ විශේෂ නියෝජිතයකු පත් කිරීමේ තීරණයට, සිය එකඟතාව පළ නොකරන බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, සංවර්ධන කමිටු‍වේ සභාපතිවරයා දේශපාලන පක්ෂයක නියෝජිතයකු බැවින් ඔහුගේ නියෝජිතයකු පත් කිරීම හරහා පළාත් පාලන ආයතනවල කටයුතු යම් දේශපාලනීකරණයකට ලක්වනු ඇතැයි, යන්න සිය අදහස බවයි.

මේ හේතුවෙන් සෙසු දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින්ට අසාධාරණයක් සිදු වන බව ද, කොමිසම සඳහන් කළේ ය.

විවිධ පාර්ශවවලින් අඛණ්ඩව ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත්ව ඇත.

ඒ අනුව පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයකු පත් කිරීමේ තීරණයට සිය එකඟතාවය හිමි නොවන බව, ඉදිරි දින කිහිපයේදී ලිඛිතව පළාත් පාලන අමාත්‍යංශයට දැනුම් දෙන බව, මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. 

කොමිසම පැවසුවේ පළාත් පාලන ආයතන සම්බන්ධිකරණය සහ අවශ්‍ය තොරතුරු, අදාළ පලාත් පාලන ආයතනයේ නාගරික කොමසාරිස්වරයාගෙන් හෝ ප්‍රාදේශීය ලේකම්වරයා මගින් සිදු කල හැකි බවයි.

ඒබැවින් සදහා වෙනත් නියෝජිතයකු පත් කිරිම අනවශ්‍ය බව සිය මතය යැයි මැතිවරණ කොමිසම සදහන් කලා.

මේ අතර පලාත් පාලන ආයතන සදහා විශේෂ නියෝජිතයින් පත් කිරිමේ තිරණයට එරෙහිව සමගි ජන බලවේගය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවා.