පිරවුම් හල් 121ක්,දින 5ක් කිසිදු ඇනවුමක් කර නැහැ

සංස්ථාව සතු පිරවුම් හල් 121ක්, දින 5 ක් කිසිදු ඇනවුමක් සිදුකර නැහැ - ඇමති කංචන

by Staff writer 03-06-2023 | 5:30 PM

COLOMBO (News 1st) - ටිවිටර්  පණිවිඩයක් නිකුත් කරමින් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, ඉන්ධන පිරවුම්හල් 121 ක් මැයි 27 සිට 31 දක්වා කාලය තුළ කිසිදු ඇනවුමක් කර නොමැති බවයි.

තවත් බොහෝ ඉන්ධනහල් අවම තොග පවත්වා ගැනීමට ප්‍රමාණවත් ඇණවුම් ලබා දී නොමැති බව, මූලික සමීක්ෂණවලදී හඳුනාගෙන ඇතැයි, අමාත්‍යවරයා පවසයි.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 50% ක අවම තොගයක් පවත්වා ගැනීම අනිවාර්ය වන අතර, කොන්ත්‍රාත්තුවේ කොන්දේසි උල්ලංඝනය කර ඇති ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර සමාලෝචනය කිරීමෙන් පසු අවසන් කරන බවද,ට්විටර්  පණිවිඩයේ සඳහන් වේ.


රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව යළි අවධාරණය කරයි.

එහි සභාපති උවයිස් මොහොමඩ් මහතා පැවසුවේ, මේ වන විට සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික් ටෝන් 100,000 ක් පවතින බවයි.

එසේම පෙට්‍රල් මෙට්‍රික් ටෝන් 50,000 ක තොගයක් සංස්ථාව සතු බවද, ඔහු ප්‍රකාශ කළේ ය.

සභාපතිවරයා සඳහන් කළේ, පෙට්‍රල් රැගත් නෞකා දෙකක්  දිවයිනට ළඟා වෙමින් ඇති බවයි.

එම තත්ත්වය තුළ කිසිදු ආකාරයක තෙල් හිඟයක් පිළිබඳව අනිසි බියක් ඇතිකරගත යුතු නැතැයි, සභාපතිවරයා අවධාරණය කළේ ය.

 අද (03) සහ හෙට (04) නිවාඩු දින වුවත්, දිවයින පුරා අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ක්‍රියාත්මක බව, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, උවයිස් මොහොමඩ් මහතා ප්‍රකාශ කළේ ය.