සිතුවම්වල පුස් ඉවත් කිරීමට පියවර

රංගිරි දඹුලු රජ මහා විහාරයේ සිතුවම්වල පුස් ඉවත් කිරීමට පියවර

by Staff writer 31-05-2023 | 5:56 AM

COLOMBO (News 1st) - රංගිරි දඹුලු රජ මහා විහාරයේ සිතුවම්වල වර්ධනය වූ පුස් ඉවත් කිරීම කඩිනම් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා සඳහන් කළේ, මේ වනවිට එක් ගුහාවක ඇති චිත්‍ර සියල්ලේම පුස් ඉවත් කර සංරක්ෂණය කර ඇති බවයි.

චිත්‍ර ගුහාවල පවතින තෙත සහිත ස්වභාවය හේතුවෙන් පුස් වර්ධනය වේගවත්ව සිදුවන බව ඔහු ප්‍රකාශ කළේ ය.

මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවේ, මේ සඳහා ස්ථිරසාර පිළියමක් සොයා ගැනීමට මේ වනවිට පර්යේෂණ පවත්වමින් සිටින බවයි.

වළගම්බා රජු විසින් ඉදිකළ බව කියන රන්ගිරි දඹුළු විහාරය මෙරට චිත්‍ර කලාව අධ්‍යයනයේදී සුවිශේෂී විහාරස්ථානයක් ලෙස ලෝකප්‍රකටයි.

යුනේස්කෝව විසින් 1991 වසරේදි එය ලෝක උරුමයක් ලෙස ද නම් කර ඇත.