පාස්පෝට් 2ක් සමග ආ චීන ජාතිකයාට යළි ලංකාවට එන්න බෑ

ගුවන් ගමන් බලපත්‍ර දෙකකින් මෙරටට පැමිණි චීන ජාතිකයාට යළි ලංකාවට ඇතුළු වීම සම්පූර්ණයෙන් අත්හිටුවයි

by Staff writer 30-05-2023 | 6:20 AM

COLOMBO (News 1st) - ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සමග මෙරට පැමිණි චීන ජාතිකයාට යළි මෙරටට ඇතුළු වීම සම්පූර්ණයෙන් අත්හිටුවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේ, සැකකරු මෙරටින් පිටුවහල් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවයි.

හැකි ඉක්මණින් එම කටයුතු අවසන් කිරීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

සැකකාර චීන ජාතිකයා එරට මත්ද්‍රව්‍ය සිදුවීමක් සම්බන්ධයෙන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති අයෙකු බව ද අමාත්‍යවරයා අනාවරණ කළේ ය.

පසුගිය 18 වැනි දා ඩුබායි සිට මෙරටට පැමිණ තිබූ මෙම චීන ජාතිකයා ගිනී රාජ්‍යයේ ගමන් බලපත්‍රයකින් රටට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ එය ව්‍යාජ එකක් බව තීරණය කළ ආගමන විගමන නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.