2022 සා/ පෙළ විභාගය අදින් ඇරඹෙයි..

2022 සා/ පෙළ විභාගය අදින් ඇරඹෙයි..

by Staff writer 29-05-2023 | 5:50 AM

COLOMBO (News 1st) – 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (29) ආරම්භ වෙයි. 

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ , ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

විභාගයට මෙවර පෙනී සිටින අයැදුම්කරුවන් සංඛ්‍යාව හාර ලක්ෂ 72,553 කි.

ඉන් තුන් ලක්ෂ 94,450 දෙනෙකු පාසල් අයැදුම්කරුවන් වන අතර, 78103 දෙනෙකු පෞද්ගලික අයැදුම්කරුවන් වෙයි. 

දිවයින පුරා ස්ථාපිත විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 3568 කි.

40,000කට අධික පිරිසක් විභාග රාජකාරී සඳහා යොදවා තිබේ. 

ප්‍රමාදවී පැමිණෙන අපේක්ෂකයින්ට විභාගයට පෙනී සිටීමේ අවස්ථාව අහිමිවිය හැකි බව ද, විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.
 
විභාග ශාලාවට රැගෙන යා නොහැකි දෑ සම්බන්ධයෙන් ද උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. 

ඒ අනුව 

? ඡංගම දුරකතන ඇතුළු සන්නිවේදන උපකරණ භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්

? කිසිදු විෂයක් සඳහා ගණක යන්ත්‍ර භාවිත කිරීමට අවසර හිමිවන්නේ නැහැ

? ටිපෙක්ස් වැනි මකන දියර භාවිත කළ නොහැකියි

යම් අපේක්ෂකයෙකු එම නීති කඩකළහොත් වසර 5 ක විභාග තහනමකට ලක්වන බව, විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

විශේෂ අවශ්‍යතා ඇති අයැදුම්කරුවන් සඳහා රත්මලාන සහ තංගල්ල ප්‍රදේශවල විශේෂ මධ්‍යස්ථාන 2ක් පිහිටුවා තිබේ. 

මෙවර විභාගයට පෙනී සිටින බන්ධනාගාරගත රැඳවියන් සංඛ්‍යාව 10 කි.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවූ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු ද ඒ අතරට ඇතුළත් ය.

මහරගම අපේක්ෂා රෝහලේ ද, විභාග මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ. 

ඩෙංගු අධිඅවදානම් කලාපවල සිසුන්ට ජාතික ඩෙංගු මර්දන ඒකකය දැනුම් දෙන්නේ , මුළු සිරුරම ආවරණය කර විභාගයට පැමිණෙන ලෙසයි.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙයි. 

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති එල්. කේ. ඩී අල්විස් මහතා පැවසුවේ, විභාග කාලසීමාව තුළ සිසු සැරිය බස් සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
 
පෞද්ගලික බස් සේවා ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය. 

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, ඒ වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ද යොදවා ඇති බවයි.