නතාශා එදිරිසූරිය අත්අඩංගුවට ගත් හේතුව

නතාශා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීමට හේතුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කළ පැමිණිල්ලක් - පොලීසිය

by Staff writer 28-05-2023 | 2:42 PM

COLOMBO (News 1st) - බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නතාශා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා, පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව බව, පොලීසිය පවසයි.

පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ, ඊට අමතරව භික්ෂූන් වහන්සේගෙන් ද පැමිණිලි ලැබී ඇති බවයි.

ඒ අනුව නතාශා එදිරිසූරිය මහත්මිය රටින් බැහැරවීම සඳහා පැමිණයහොත් රඳවා ගන්නැයි, පොලීසිය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට  දැනුම් දී ඇත.

අදාළ දැනුවත් කිරීම පරිදි ඊයේ (27) රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට ගුවන්තොටුපොළට පැමිණි නතාශා එදිරිසූරිය රඳවා ගැනීමට ගුවන්තොටුපොළට නිලධාරීන් ක්‍රියාකර තිබේ.

පසුව, පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්, ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස සඳහන් කළේ, ඇයගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බවයි.

නතාශා එදිරිසූරිය මහත්මිය අද (28) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

32 හැවිරිදි ඇය ප්‍රහසන වැඩසටහනක් අතරතුර බුදුදහමට අපහාස වන ආකාරයෙන් කළ ප්‍රකාශ, පසුගිය දිනවල සාමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්විය.