වැලිකඩ ස්ථානාධිපතිට තාවකාලික ස්ථාන මාරුවක්

වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිට වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ස්ථාන මාරුවක්

by Staff writer 27-05-2023 | 3:22 PM

COLOMBO (News 1st) - වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාර කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, තාවකාලිකව එම ස්ථාන මාරුවීම සිදු කර ඇති බවයි.

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී කාන්තාවක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම ස්ථාන මාරුවීම ලබා දී ඇතැයි ද ඔහු පැවසුවේ ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට මීට පෙර පියවර ගැනිණි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, අදාළ නිලධාරීන් පොලිස් විනය සංග්‍රහයේ සඳහන් විනය විරෝධී ක්‍රියාවන් සිදුකර ඇතැයි අනාවරණ වී ඇති බවයි.

ඒ අනුව, උපපොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළ බව එම නිවේදනයේ සඳහන් ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, කොස්තාපල්වරයෙක් සහ කාන්තා කොස්තාපල්වරියන් දෙදෙනෙකු වැලිකඩ පොලිස් ස්ථානයේ සිට කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම කොට්ඨාස වෙත මාරු කළ බවයි.

නිවසක දේපොළ සොරා ගැනීමක් සම්බන්ධයෙන් එම නිවසේ මෙහෙකාරිය පසුගිය 11 වැනිදා අත්අඩංගුවට ගැනුණු අතර ඇය රෝහල්ගත කර තිබුණේ, හදිසියේ ඇති වූ ස්වසන අපහසුතාවයක් හේතුවෙනි.

මියගිය කාන්තාව 42 හැවිරිදි බදුල්ල, දෙමෝදර පදිංචිකාරියකි.

ඥාතීන් සහ වෙනත් පාර්ශ්ව මරණය ගැන සැක පළ කිරීම හේතුවෙන් මේ පිළිබඳව විමර්ශනය කරන්නැයි පොලිස්පතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර තිබුණි.

එම විමර්ශනයෙන් අනාවරණ වූ කරුණු මත මෙම ක්‍රියාමාර්ග ගෙන ඇතැයි මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.