දිනේෂ් ශාෆ්ටර්ගේ දෙවැනි මරණ පරීක්ෂණය අද ඇරඹේ...

ප්‍රකට ව්‍යාපාරික ශාෆ්ටර්ගේ මළ සිරුර පිළිබඳ දෙවැනි මරණ පරීක්ෂණය අද ඇරඹේ...

by Staff writer 26-05-2023 | 8:23 AM

COLOMBO (News 1st) – අබිරහස් ලෙස මිය ගිය ප්‍රකට ව්‍යාපාරික දිනේශ් ශාෆ්ටර් මහතාගේ මළ සිරුර පිළිබඳ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය අද (26)පෙරවරුවේ ආරම්භ වෙයි. 

ඒ, කරාපිටිය ශික්ෂණ රෝහලේදී ය.

එම පරීක්ෂණය සිදු කෙරෙන්නේ, පංච පුද්ගල අධිකරණ විශේෂඥ වෛද්‍ය කමිටුවක් විසින්.

කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස් , රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය යූ.සී.පී පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය දිනේෂ් ප්‍රනාන්දු , කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ පී.ආර් රුවන්පුර හා මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ එම් සිවසුබ්‍රමනියම් යන  මහත්වරුන් එම විශේෂඥ කමිටුවට අයත් ය.

දෙවැනි මරණ පරීක්ෂණය සඳහා දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ඊයේ ගොඩ ගනු ලැබුවේ ය. 

පසුගිය දෙසැම්බර් 15 වැනිදා ශාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමිය තුළ සිය මෝටර් රථයේම දෑත් සහ ගෙළ සිරකර බැද දමා සිටියදී සොයා ගැනුණේ ඔහුට අයත් ආයතනයක නිලධාරියෙකු විසින් ය.

ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඔහු එදිනම රාත්‍රියේ මිය ගියේ ය. 

මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළේ, එය සිදුව තිබූ ආකරය පිළිබඳව මතුවූ ප්‍රශ්නකාරී තත්ත්වයත් සමගින් ය.

මේ අතරතුර දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මූලික මරණ පරීක්ෂණ වාර්තාවෙන් අධිකරණයට දැනුම් දුන්නේ , තන්තුවකින් ගෙළ සිරවීමෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවටයි.

එහෙත් විෂ වේද වාර්තා ලැබීමෙන් පසු ශාෆ්ටර් මහතාගේ මරණයට තවත් හේතුවක් බලපා ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරියා තම සම්පුර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අධිකරණය වෙත දැනුම් දුන්නේ ය.

එහි සඳහන් කර තිබුණේ, සයනයිඩ් නැමති විෂ ශරීරගත වීම ද දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුවී ඇති බවයි.

සයනයිඩ් විෂ දැමූ කෙටි ආහාරයක් ඔහු ආහාරයට ගෙන ඇති බවත් , ඔහුගේ ආමාශයෙන් මෙන්ම රුධිරයේද සයනයිඩ් විෂ හමුවූ බවත් එහිදී ප්‍රකාශ විය. 

එහිදී ශාෆ්ටර් මහතාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ අනූජ ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කලේ මරණ පරීක්ෂණ වාර්තාවල පරස්පරතා පවතින බවයි.

මේ අනුව අධිකරණය කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කළේ, ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස නියෝග කරමින් ය.