ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව අද විවාදයට

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තු විවාදයට

by Staff writer 24-05-2023 | 5:49 AM

COLOMBO (News 1st) - මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම පිළිබඳව යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබේ.

2021 වසරේ මාර්තු 14 වැනි දා ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කළේ, එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි.

නමුත් 2022 රට තුළ උද්ගත වූ බරපතළ ආර්ථික අර්බුදයත් සමග ඇති වූ විදුලිය අර්බුදයට විකල්ප පිලියම් මහජන උපයෝගීතා කොමිසම යෝජනා කලත් ඒවා ක්‍රියාත්මක වූයේ නැත.

පසුගිය වසරේ අගෝස්තු හා ජනවාරි මාසවල විදුලිය ගාස්තු වැඩි කිරීමට ඉදිරිපත් කළ යෝජනාවලට කොමිසමේ සභාපතිවරයා දැක් වූ විරෝධය මත සභාපතිවරයා සම්බන්ධයෙන් වන මත ගැටුම් තවත් උග්‍ර තත්ත්වයකට පත් විය.

ජනක රත්නායක මහතා මේ අවස්ථා දෙකේදීම අවධාරණය කළේ, ගාස්තු ගණනය කරන විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව ආණ්ඩුව යෝජනා කරන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් ජනතාවට සහන සැලසිය හැකි ආකාරයට ගාස්තු වැඩිකළ හැකි බවයි.

කෙසේ වෙතත්, සභාපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණෙනු ඇත.