එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට වෙනම නීතිඥ කණ්ඩායමක්

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට වෙනම නීතිඥ කණ්ඩායමක් - සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය

by Staff writer 21-05-2023 | 12:16 PM

COLOMBO (News 1st) - එක්ස්ප්‍රස්  පර්ල් නෞකාවට අදාළව සිංගප්පුරුවේ ක්‍රියාත්මක අධිකරණ කටයුතුවලට සහයෝගය ලබා දීමට සහ එම අධිකරණ කටයුතු නිරීක්ෂණය කිරීමට වෙනම නීතිඥ කණ්ඩායමක් පත් කරන බව, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති නීතිඥ  අසේල රැකව මහතා සඳහන් කළේ, එම නඩු කටයුතුවලට සම්බන්ධ නීතිපති දේපාර්තමෙන්තුවේ කණ්ඩායමට සහය දීම සඳහා මෙම කණ්ඩායම පත් කරන බවයි.

ඒ සඳහා නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යාංශයෙන් අදාළ  අනුමැතිය මේ සතිය තුළ  ලබා ගැනීමට නියමිතව ඇත.

මේ අතර නීතිපති  දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසරයට වූ හානියට වන්දි ඉල්ලා සිංගප්පූරු මහාධිකරණයේ පනවා ඇති නඩුව එරට ජාත්‍යන්තර වාණිජ අධිකරණය හමුවේ කැඳවීම පිළිබඳ මෙරට  රජයේ තීරණය ලබන 01 වැනිදා දැනුම් දෙන බවයි.

අදාළ නඩුව මෙහෙයවන නීතිඥ සාමාගමට ඊට අදාළ උපදෙස් දීමට පියවර ගන්නා බව, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

නඩුව ලබන 01 වැනිදා සිංගප්පූරු මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.