පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉරි 03ක නිවේදනයක්

ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීමට අනිවාර්යෙන්ම සහභාගී වෙන්න - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉරි 03ක නිවේදනයක්

by Staff writer 21-05-2023 | 12:09 PM

COLOMBO (News 1st) - ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඉදිරි පාර්ලිමේන්තු සතියේ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු රැස්වීම  සඳහා සහභාගි වන්නැයි, ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දී  තිබේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ  මන්ත්‍රිවරයෙකු සඳහන් ක‍ළේ, ඉරි තුනේ නිවේදනයක් මගින් එම දැනුම් දීම සිදුකර ඇති බවයි.

එලෙස ඉරි 03ක නිවේදනයක් ලෙස දැනුම් දීමක් සිදු කරන්නේ, අයවැය ඡන්ද විමසීමකදී හෝ ව්‍යවස්ථා සංශෝධනයකදී  වැනි අතිශය වැදගත් පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමේදී  බව එම මන්ත්‍රිවරයා සඳහන් කළේ ය.

එවැනි විශේෂ දැනුම් දීමක් කර තිබියදී  මන්ත්‍රිවරුන්ට අදාළ  කාලසීමාව තුළ විදේශගත වීම ද, තාවකාලිකව තහනම් වනු ඇත.

යම් මන්ත්‍රිවරයෙකු ඒලෙස දැනුම් දී තිබියදීත් පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි නොවන්නේ නම්, ඊට හේතු දැක්විය යුතුවේ.

මහජන උපයෝගිතා කොමිසමේ සභපති ධුරයෙන් ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාව, ලබන 24 වැනිදා පාර්ලිමෙන්තුවේදි විවාදයට ගැනීමට නියමිත ඇති අතර ඊට අදාළ  ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

එහිදි යෝජනාවට පක්ෂව සිය ජන්දය ප්‍රකාශ කරන බව, ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණ මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සඳහන් කළේ, ඊට විරුද්ධව සිය ජන්දය ප්‍රකාශ කරන බවයි.