සතොස නඩුවෙන් හිටපු ඇමති ජොන්ස්ටන් නිදහස්

සතොස නඩුවෙන් හිටපු ඇමති ජොන්ස්ටන් නිදහස්

by Staff writer 19-05-2023 | 7:38 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනු කර තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (19) නියෝග කර තිබේ.

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනය සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර, දේශපාලන ක්‍රියාවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළ බවට ඔවුන්ට චෝදනා ගොනු කර තිබුණි.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයයි.

අල්ලස් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නඩුව පවරා නොමැති බැවින් විත්තියේ මූලික විරෝධතාවය පිළිගනිමින් විත්තිකරුවන් මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියෝග කළේ ය.

අල්ලස් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පැමිණිල්ලක් විමර්ශනය කිරීමේදී හා ඊට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස් වරුන් තිදෙනාගේම ලිඛිත අනුමැතිය හා අවසරය අවශ්‍ය බවත්, මෙම විමර්ශනයේ දී හා නඩු පැවරීමේදී කොමසාරිස්වරුන් තිදෙනාම ඊට අත්සන යොදා නොමැති බවත් විත්තිය මගින් මූලික විරෝධතාවක් මතු කරමින් සඳහන් කළේ ය.

අදාල විරෝධතාවය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.

කෙසේ වෙතත් 2010 වසරේ සිට 2015 වසර දක්වා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සෙසු සැකකරුවන්ට මෙම චෝදනා යටතේ එක් එක් වර්ෂවලට තවත් අල්ලස් නඩු හතරක් කොළඹ මහාධිකරණයේ විභාග වේ.