විජයග්‍රහණයේ 14 වැනි සැමරුම බත්තරමුල්ලේදී..

විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද බත්තරමුල්ලේදී..

by Staff writer 19-05-2023 | 6:39 AM

COLOMBO (News 1st) – තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ විජයග්‍රහණයේ 14 වැනි රණවිරු සැමරුම අද (19)පස්වරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙයි. 

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ඇතුළු රණවිරුවන් රැසක් මෙන්ම යුද්ධයේදි දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතින්ද සහභාගි වීමට නියමිතයි.

1975 ජූලි 27 යාපනය නගරාධිපති ඇල්ෆ්‍රෙඩ් දොරෙයප්පා ඝාතනයෙන් ඇරඹි ජාතිවාදයේ භීෂණය යුද්ධයක් දක්වා ඉදිරියට ගියේ ලක්ෂ සංඛ්‍යාත ජන ජීවිත නිරපරාදේ මිහිදන් කරමින් ය.

තේරුමක් නැති යුද්ධයෙන් අහිමි වූ දෑ බොහෝය.

ජාත්‍යන්තර අපකීර්තිය ,ආයෝජන අහිමිවීම්, ආර්ථිකය කඩාවැටීම ,සංවර්ධනය ආපස්සට යාම ,රටේ සම්පත් විනාශ වීම ,ජන ජීවිතය අවිනිශ්චිත වීම ,ජාතීන් අතර සැකය නිසරු යුද්ධයකින් ලැබුණු රුදුරු අත්දැකීම් ය.

මරාගෙන මැරෙන ළමා සෙබළුන්, තාරුණ්‍ය අවියට යට කළ ගැහැණුන්, මරාගෙන මැරෙන ළමා සොල්දාදුවන් වගේම, තැන තැන වළ දැමූ ජොනි බට්ටන් ජාත්‍යන්තරය පුරා ශ්‍රී ලංකාව ගැන මැවූ චිත්‍රය බිහිසුණුයි.

රට පුරා මුර කපොලු වැටුණා.ඡන ඡීවිතයට අනවශ්‍ය සීමාවන් පැනවිණි. 

තිස් වසරක යුද සාපයෙන් ලද අත්දැකීම් මුල් කොටගෙන ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සාමය උදෙසා යුද්ධයක් මෙහෙය වූවේ ය. 

2009 මැයි 19 ජාතිවාදි භීෂණය මුවහත් කළ යුද්ධය නන්දිකඩාල් කලපුවේ මිහිදන් විය. 

මුර කපොලු ගැලවිණ. 

යාල්දේවී දුම්රිය දකුණට ආවේ ය. දකුණේ සංවර්ධනය හා නිදහස උතුරට ගියේ ය.

නිදහස පැල වුණා. ජනතාව හිනැහුණි. 

දැන් ගෙවී යන්නේ දිනාගත් සාමය වගකීමෙන් රැකගත යුතු කාලයයි.

උත්තරීතර සාමය රැක ගත හැක්කේ, අලුතින් සිතන, පුළුල්ව දකින ,පොදු හැඟීමෙන් ජීවත්වන  ශ්‍රී ලාංකේය ජන පරපුරකටයි..