වැලිගමදී පියපුතු දෙපළකට වෙඩි

වැලිගමදී පියපුතු දෙපළකට වෙඩි: පියා මරුට..

by Staff writer 16-05-2023 | 6:51 AM

COLOMBO (News 1st) - වැලිගම, දෙනිපිටිය ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

වෙඩි තැබීම සිදුව ඇත්තේ, පියපුතු දෙපළකටයි.

ඊයේ රාත්‍රී 9.40 ට පමණ වැලිගම - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ දෙනිපිටියේ, නුගරුක ආසන්යේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

පොලීසිය පැවසුවේ, පියපුතු දෙපළ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී තවත් යතුරු පැදියකින් පැමිණි පිරිසක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

වෙඩි තැබීමෙන් 50 හැවිරිදි පියා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර පුතා මේ වනවිට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබනු ඇත.

ඔහුගේ වයස අවුරුදු 20 කි. 

වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇතැයි පොලීසියේ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පොලීසිය පැවසුවේ, වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී පතොරම් කොපු 20 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බවයි.

සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසීය.