මහ වැස්සෙන් පුද්ගලයින් 6,564 කට පීඩා..

මහ වැස්සෙන් පුද්ගලයෙක් අතුරුදන්: 7කට තුවාල: පුද්ගලයින් 6,564 කට පීඩා..

by Staff writer 16-05-2023 | 10:24 AM

COLOMBO (News 1st) -  පැවති අධික වැසි සහිත කාලගුණයත් සමග ඇති වූ ආපදා හේතුවෙන් එක් පුද්ගලයෙක් අතුරුදන්ව තවත් 7 දෙනෙකු තුවාල සිදුව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, දිවයිනේ දිස්ත්‍රික්ක 09ක පවුල් 1744 කට අයත් පුද්ගලයින් 6564 කට වැඩි පිරිසක් ඉන් පීඩාවට පත්ව ඇති බවයි.

නිවාස 73 කට අර්ධ හානී සිදුව ඇත.

අකුරුස්ස, පාවන්වැල්ල ප්‍රදේශයේ ගංවතුරට ගසාගෙන පැමිණි සුන් බුන් ඉවත් කරමින් සිටියදී ජල පහරකට හසුව පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ.

ඔහු 42 හැවිරිදි පහළ අතුරලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. 

මේ අතර ගිං සහ නිල්වලා ගංගා තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇත්තේ, පානඩුගම සහ තල්ගහගොඩ ප්‍රදේශවලිනි.

බද්දේගම ප්‍රදේශයෙන් ගිං ගඟ අවදානම් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කුඩා ගඟ කළවැල්ලාව ප්‍රදේශයෙන් අවදානම් මට්ටම පැමිණ ඇත.

ඒ අවට පහත්බිම්වල වෙසෙන ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.

මේ අතර දෙනියාය බටාදුර ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබේ.

මින් කිසිවකුටත් තුවාල සිදු වී නොමැති අතර නිවසට හානි සිදුවී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.