ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදයි

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදයි

by Staff writer 14-05-2023 | 7:09 AM

COLOMBO (News 1st) - දෙවියන්ට නිතර අප ළඟ සිටිය නොහැකි නිසා දෙවියන් මිහිපිට අප අසළ සිටින බව හැඟවීමට, දෙවියෝ අම්මලව මැව්වා කියලා අපි විශ්වාස කරයි.

රක්ත වර්ණ රුධිරය, ශ්වේත වර්ණයට හරවා දරුවෙකුට ජීවය දෙන ඇය, සිය දිවියම දරුවන් නමින් කැප කරන බව අප සියල්ලන්ම දන්නා රහසකි.

'අම්මා'  තරම් අපව හඳුනන කෙනෙකුන් මේ මිහිපිට නැති තරම් යි.

නමුත්, 'අම්මා' යන චරිතය නිවැරදිව වටහාගන්නට ගන්න අපට හැකිවී ඇත්ත යන්න, අප සියලු දෙනාගේ හදවත් තුළ ඉතිරි කරන්නේ ප්‍රශ්නාර්ථයකි.

සීමා මායිම් නැති අම්මාගේ ආදරයට, සෙනෙහසට, පෙරළා අපි ගෞරව කරනව ද? හිතා බැලිය යුතුම කරුණ කි.

ලෝකයම අම්මාවරුන්ගේ දිනය සමරන අද (14)  දවසේ, අපේ රටේ මව්වරුන් 6,215 දෙනෙකු වැඩිහිටි නිවාසවල දිවි ගෙවන බව, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය අනාවරණය කළේ ය.

එහි අධ්‍යක්ෂ කපිල ලැනරෝල් මහතා සඳහන් කළේ, ඒ අතරින් 5,781 දෙනෙකු පෞද්ගලික වැඩිහිටි නිවාසවලත්, 434 දෙනෙකු රජයේ වැඩිහිටි නිවාසවලත් දිවි ගෙවන බවයි.

දරුවන් වැනි සිතැඟි  පවතින, වයෝවෘද්ධ මව්වරුන් වැඩිහිටි නිවාසවල මෙන්ම සිය නිවෙස් තුළ ද සිරගත වී ඇති තත්ත්වයක් නිරීක්ෂණය වන බව, කපිල ලැනරෝල් මහතා ප්‍රකාශ කළේ ය.

ඉතින්, දෙවියන් පවා නමස්කාර කරන ආදරණීය අම්මාවරුනි, ඔබ ලොව පහළ වූ අනර්ඝතම නිමැවුමයි.