සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල අත්අඩංගුවට

by Staff writer 11-05-2023 | 6:19 AM

COLOMBO (News 1st) - පහර කෑමකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කඩුවෙල මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

පියත් නිකේෂල මහතා තම සේවය නිම කර යළි නිවසට පැමිණෙමින් සිටියදී බත්තරමුල්ල, කොස්වත්ත සමගි මාවත ප්‍රදේශයේදී ඊයේ (10) පස්වරුවේ පහර කෑමට ලක් විය.

ඔහු පැවසුවේ, වාහන දෙකකින් පැමිණි කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා තමන්ට පහර දුන් බවයි.

මේ පිළිබඳව අප කළ විමසීමකදී කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා පැවසුවේ, තමන් මාලඹේ සිට කොස්වත්ත දෙසට පැමිණෙමින් සිටියදී පියත් නිකේෂල මහතා තමා අනතුරට ලක්කිරීමට උත්සාහ කළ බවය.

එම අවස්ථාවේ තමා නිකේෂල මහතාව හඳුනා නොගත් බවත් ඔහු තමන් අරගලයේ සමාජිකයෙකු බව පවසමින් තමාට බැන වැදුණු බවත් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

ඔවු පවසන්නේ, මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති වූ බවයි.

අනතුරුව පහරකෑමෙන් තුවාල ලැබූ පියත් නිකේෂල මහතා පළමුව තලංගම රෝහලට ඇතුළත් කළ අතර පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණි.

පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා ද ඊයේ (10) පොලීසිය සැකපිට අත්අඩංගුවට ගත්තේ ය.

ඒ, ඔහු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.