.webp)
COLOMBO (News 1st) – කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ, ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.
ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය සම්බන්ධයෙන් කාර්යන් කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දී ඇති බව සඳහන් ය.
තවමත් රට තුළ ක්‍රියාත්මක වන්නේ, යටත් විජිත සමයේ ගෙනෙන ලද ඉඩම් ප්‍රතිපත්ති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉඩම් පරිහරණය සම්බන්ධව විවිධ අවස්ථාවලදී ගෙන එන ලද අණ පනත් කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට නොගැලපෙන බව ද පවසා තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, සංවර්ධන කටයුතු සඳහා ඉඩම් ලබා දීමේදී දැනට පවතින බාධාවන් ඉවත් කර, නව ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කල බවයි.
ග්‍රාමීය මට්ටමින් ඉඩම් සහ හිමිකරුවන්ගේ විස්තර ඇතුළත් සවිස්තර වාර්තාවක් සකස් කරන්නැයි ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දී තිබේ.
රජයේ අවශ්‍යතාවයන් සඳහා පවරාගෙන ඇති නමුත් මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නොමැති ඉඩම් නැවත ජනතාව අතර බෙදාදීමට පියවර ගන්නා ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙන තවත් කරුණකි.
එමෙන්ම රජයේ කාර්යයන් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී අදාළ ඉඩම්වල වෙළෙඳපොළ වටිනාකම ගෙවා අත්පත් කර ගැනීම් සිදු කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දී තිබේ.