ආසියාවේ සමගියට බාධා වෙන දේකට අනුබල දෙන්නේ නෑ..

ආසියාවේ සමගියට බාධා වන කිසිදු කාර්යයකට ලංකාව අනුබල දෙන්නේ නෑ - ජනපති

by Staff writer 11-05-2023 | 5:27 PM

 COLOMBO (News 1st) –  ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ඔහු මේ බව සඳහන් කළේ , කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කර වසර 50ක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයට සහභාගී වෙමින් ය.

ආසියානු භූ දේශපාලනය සහ පැසිපික් කලාපයේ දේශපාලනය අතර බොහෝ වෙනස්කම් තිබෙන බවත් එම වෙනස්කම් හඳුනා ගනිමින් සාමය හා ස්ථාවරත්වය රැක ගැනීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

ඉදිරි දශක දෙක තුළදී ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ඉදිරියට ගෙන යාමට නම් නොබැඳි ප්‍රතිපත්තිය, පංචශීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගත යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි පෙන්වා දී ඇති තවත් කරුණකි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉතිහාසය පිළිබඳ ලියවුණු ග්‍රන්ථයක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවේ ය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිකර වසර 50ක් පිරීම නිමිත්තෙන් රුපියල් 25ක් වටිනා සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු විය.