ශ්‍රී ලංකාවේ සියලුම ණය හිමියන් එක වේදිකාවක

ණය හිමියන් ලංකාව ගැන සාකච්ඡා කළේ මොනවා ද?

by Staff writer 10-05-2023 | 9:32 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන ණය හිමියන් සහභාගී වූ රැස්වීමක් ඊයේ (09) පැවැත්විය.

ඊට චීනය ද නිරීක්ෂණ මට්ටමෙන් සහභාගීව තිබේ.

ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය සහභාගී වූ මෙම ඔන්ලයින් හමුවේ අරමුණ වූයේ වෙනම සාකච්ඡා පැවැත්වීම වෙනුවට ශ්‍රී ලංකාවේ සියලුම ණය හිමියන් සාකච්ඡා සඳහා සහභාගීවන පොදු වේදිකාවක් සැකසීමයි.

ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ණය හිමියන්ට ඩොලර් බිලියන 7.1 ක් ණය වී ඇති අතර චීනයට ඩොලර් බිලියන 3 ක්, ඉන්දියාවට ඩොලර් බිලියන 1.6 ක් සහ ණයහිමි ජාතීන්ගේ පැරිස් සමාජයට ඩොලර් බිලියන 2.4 ක් ණය වී සිටී. 

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ, මේ සාකච්ඡා පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා රජය ද මේ වනවිට විදේශයන්හි පුද්ගලික ණය හිමියන්ට යුරෝ බැඳුම්කර ආකාරයෙන් ඩොලර් බිලියන 12 කට වැඩි ණයක් සහ තවත් ඩොලර් බිලියන 2.7 ක වාණිජ ණයක් පිළිබඳ නැවත සාකච්ඡා කිරීමට උත්සාහ කරමින් සිටින පසුබිමක බවයි.

ඒ, ඩොලර් බිලියන 13 කට අධික දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහයට අමතරවයි.