රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීමට අනුමැතිය

ලාංකිකයින්ට සහ විදේශිකයින්ට රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීමට අනුමැතිය

by Staff writer 09-05-2023 | 8:01 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ විදේශිකයින්ට මෙරට රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ එම යෝජනාවට අනුමැතිය ලැබුණු බවයි.

රජයේ සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ අමතර පහසුකම් වෙනුවෙන් පෞද්ගලිකව මුදල් ගෙවා එකී පහසුකම් ලබා ගැනීමට ඇතැම් පුරවැසියන් කැමැත්ත පළ කරන බැවින් මෙම තීරණයට අමාත්‍ය මණ්ඩලය එළැඹ ඇත.

මීට අදාළව ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ ඇයවැය යෝජනාවලට අනුව දීපව්‍යාප්තව රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් පුළුල් කිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුව සම්මත කළේ ය.

මේ අතර තේ, රබර් සහ පොල් වතු පනත සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවුණි.

අක්කර එකක් හෝ ඊට අඩු පොල් ඉඩම් පමණක් කැබිලි කිරීමට හැකි වන පරිදි සීමා පනවමින් දැනට පවතින නීතිමය විධිවිධාන සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් මෙවර අයවැයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කෙරුණි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත්කළ යොජනාව එලෙස අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බවයි.