තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට මේගන් කුමරිය නෑ

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට මේගන් කුමරිය නෑ..

by Chathurika Jayasundara 06-05-2023 | 3:34 PM

COLOMBO (News 1st) –  තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය අද(06) සිදු වන අතර, සියලු දෙනාගේ අවධානය යොමුව ඇත්තේ, බ්‍රිතාන්‍ය රජ පවුල දෙසටයි. 

රාජ්‍ය නායකයින් සහ ගෝලීය සම්භාවනීය අමුත්තන් 100ක් ඇතුළු ආරාධිත අමුත්තන් 2200 ක පමණ පිරිසක් සහභාගී වීමට නියමිත බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

කෙසේ නමුත් මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ , සසෙක්ස්හි ආදිපාදවරයාගේ බිරිඳ වන මේගන් මාක්ල්
කුමරිය මෙම රාජාභිෂේකයට සහභාගී වන්නේ ද? නැද්ද යන්නයි.. 

බකිංහැම් මාලිගය නිවේදනය කර ඇත්තේ, හැරී කුමරු පමණක් රාජාභිෂේකයට සහභාගී වන බවත්, මේගන් කුමරිය හා දරුවන් දෙදෙනා රාජාභිෂේක මංගල්‍යයට සහභාගී නොවන බවය. 

මේගන් කුමරිය, දරුවන් දෙදෙනා වන Archie කුමරු සහ Lilibet කුමරිය සමග කැලිෆෝනියාවේ රැඳී සිටින බව බකිංහැම් මාලිගය වැඩිදුරටත් සඳහන් කර සිටී. 

ඔවුන්ගේ වැඩිමහල් පුත්‍රයා වන Archie කුමරු බ්‍රිතාන්‍ය කිරුළ හිමි හයවැනියා වන අතර, චාල්ස් රජුගේ රාජාභිෂේක දිනයේදී Archie කුමරුට අවුරුදු හතරකි. 
 
මේගන් සහ හැරී රජ පවුල සමග විවිධ ගැටලුකාරී තත්ත්වයන් පවතින වකවානුවක මේගන් කුමරිය රාජාභිෂේක මංගල්‍යයට නොපැමිණීම බොහෝ මාධ්‍යයන්හි අවදානයට යොමුව තිබේ. 

හැරී සහ මේගන් 2020 වසරේදී රාජකීය කටයුතුවලින් නීත්‍යානුකූලව ඉවත් වූ විය. 

කෙසේ නමුත්,  හැරී කුමරුට රාජාභිෂේක උත්සවයේ නිල භූමිකාවක් නොමැති අතර, රාජාභිෂේකයෙන් පසුව පිරිසට ආචාර කිරීමට ඔවුන් බැල්කනියේ පෙනී සිටින විට ඔහු පවුලේ අය සමග එක් වේ දැයි පැහැදිලිතාවක් නැත. 

74 හැවිරිදි තුන්වැනි චාල්ස් රජු 1066 වසරෙන් පසු ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේදී ඔටුනු පළඳින 40 වැනි රජු බවට පත් වෙනු ඇති. 

රජ පවුලේ වර්තමාන භූමිකාව පිළිබිඹු වන පරිදි රාජාභිෂේක මංගල්‍යයේ ඇතැම් අවස්ථා නවීකරණය කර ඇති නමුත්, 1953 වසරේදී දෙවැනි එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකයේදී දක්නට ලැබුණු දිගුකාලීන සම්ප්‍රදායන් මෙවරත් භාවිත වන බව බකිංහැම් මාලිගය නිවේදනය කළේ ය.

ඔවුන්ට සුබ පැතීම සඳහා මේ වනවිටත් මග දෙපස විශාල ජනකායක් රැස්ව ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

චාල්ස් රජු සාන්ත එඩ්වඩ්ගේ කිරුළ පැළඳීමට නියමිත අතර, ඔහුගේ මව වන දෙවැනි එලිසබෙත් රැජිණ ද 1953 වසරේදී ඇගේ රාජාභිෂේකය සඳහා එම කිරුළම පැළඳීම විශේෂත්වයකි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් ද උත්සවයට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 04 වැනි දායි.