තුන්වන චාල්ස් රජු කිරුළු පළඳයි..

තුන්වන චාල්ස් රජු කිරුළු පළඳයි..

by Chathurika Jayasundara 06-05-2023 | 4:20 PM

COLOMBO (News 1st) –  ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවැත්වෙන රාජාභිෂේක මංගල්‍යයේදී බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු කිරුළු පැළදී බව බකිංහැම් මාලිගය නිවේදනය කළේ ය.

පසුගිය සැප්තැම්බර් මාසයේදී දෙවැනි එලිසබෙත් රැජිණගේ අභාවයෙන් පසු වේල්සයේ කුමරු ලෙස කටයුතු කළ ඔහු රාජ්‍යත්වයට පත්විය.

74 හැවිරිදි තුන්වැනි චාල්ස් රජු 1066 වසරෙන් පසු ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේදී ඔටුනු පළඳින 40 වැනි රජු බවට පත් වෙනු ඇති. 

චාල්ස් රජුගේ දෙවැනි පුත්, සසෙක්ස් හි ආදිපාද හැරී කුමරුද රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සඳහා අමෙරිකාවේ සිට බ්‍රිතාන්‍යට පැමිණ තිබේ.

රජ පවුලේ වර්තමාන භූමිකාව පිළිබිඹු වන පරිදි රාජාභිෂේක මංගල්‍යයේ ඇතැම් අවස්ථා නවීකරණය කර ඇති නමුත්, 1953 වසරේදී දෙවැනි එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකයේදී දක්නට ලැබුණු දිගුකාලීන සම්ප්‍රදායන් මෙවරත් භාවිත වන බව බකිංහැම් මාලිගය නිවේදනය කළේ ය.

ඔවුන්ට සුබ පැතීම සඳහා මේ වන විටත් මග දෙපස විශාල ජනකායක් රැස්ව සිටියේ ය.

චාල්ස් රජු සාන්ත එඩ්වඩ්ගේ කිරුළ පැළඳීමට නියමිත අතර ඔහුගේ මව වන දෙවැනි එලිසබෙත් රැජිණ ද 1953 වසරේදී ඇගේ රාජාභිෂේකය සඳහා එම කිරුලම පැළඳීම විශේෂත්වයකි. 

කැමිලා බිසව පැළඳීමට නියමිතව ඇත්තේ මේරි රැජිණගේ කිරුළයි. 

රාජාභිෂේකය සැමරෙන සති අන්තයේ ආරක්ෂාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සමාජිකයින් 11,000කට වැඩි පිරිසක් යොදවා ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය. 

ලොව පුරා මාධ්‍ය ආයතන රාජාභිෂේක මංගල්‍යයේ සජීවි විකාශය සඳහා ලන්ඩන් අගනුවරට පැමිණ තිබේ.