එක්ස්ප්‍රස් පර්ල් වන්දි වාර්තාව හදන්න නීතිපතිගෙන්

එක්ස්ප්‍රස් පර්ල් වන්දි වාර්තාව සකසන්න නීතිපතිගෙන් උපදෙස් මාලාවක්..

by Staff writer 06-05-2023 | 8:16 PM

COLOMBO (News 1st) - එක්ස්ප්‍රස්පර්ල් නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට සිදුවූ හානියට අදාළ වන්දි මුදල ඇතුළත් සවිස්තර වාර්තාව, සකස් කිරීමට අවශ්‍ය මූලික උපදෙස් නිතීපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති, අසේල බී රැකව මහතා සඳහන් කළේ, අදාළ වාර්තාව සකස් කළයුතු ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් සඳහා නීතිපතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා ඇති බවයි.

ලබන සතිය තුල එක්ස්ප්‍රස්පර්ල් නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට සිදුවූ හානියට අදාළ වන්දි මුදල ඇතුළත් සවිස්තර වාර්තාව, සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි , සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති අසේල බී රැකව මහතා විශ්වාසය පළ කළේ ය.

සභාපතිවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ලැබී ඇති උපදෙස් මත ඉදිරියේදී වාර්තාව සකස් කරන බවයි.

නීතිපති දෙපාර්තමේන්තුව වාර්තාව කැඳවා ඇති ආකාරය සම්බන්ධයෙන් පවතින අපැහැදිලි තත්ත්වයක් හේතුවෙන් අදාළ  සාකච්ඡාව ඉල්ලා තිබේ.

එක්ස්ප්‍රස්පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා, සිංගප්පූරු අධිකරණයක් හමුවේ, ශ්‍රී ලංකාව  පසුගියදා නඩු පවරනු ලැබුවේ ය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් අදාළ වාර්තාව කැඳවා ඇත්තේ, අය කිරීමට අපේක්ෂිත වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳව අධිකරණයට දැනුම්දීම සඳහායි.