ගර්භාෂය තුළ වැඩෙන බිළිඳෙකුට සාර්ථක සැත්කමක්..

ලොව ප්‍රථම වරට ගර්භාෂය තුළ වැඩෙන බිළිඳෙකුට සාර්ථක සැත්කමක්..

by Chathurika Jayasundara 05-05-2023 | 11:24 AM

COLOMBO (News 1st) – ලොව ප්‍රථම වරට ගර්භාෂය තුළ වැඩෙන බිළිඳෙකුට සාර්ථක සැත්කමක් සිදු කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.  

අදාළ බිළිඳා සැත්කමට ලක්කර ඇත්තේ, මොළයේ සිට හදවතට රුධිරය ගෙන යන රුධිර නාලයක් අවහිර වීම හේතුවෙන් ය.

මෙම තත්ත්වය  "Venus of Galen malformation" ලෙස හඳුන්වන අතර, එවැනි දරුවන්ට මොළයේ තුවාල සහ හෘදයාබාධ ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව සැත්කම සිදු කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම පවසයි. 

මේ පිළිබඳව විශේෂඥ වෛද්‍ය කණ්ඩායම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ , මෙම තත්ත්වය ඇති සියලුම දරුවන්ගෙන් 50%ක්  , 60% ක් පමණ ක්ෂණික අසනීපවලට ගොඳුරු වන බවයි. 

මේ අතර, 40% ක මරණ අනුපාතයක් ඇති බවත්, දිවි ගලවා ගන්නා ළදරුවන්ගෙන් අඩක් පමණ දරුණු ස්නායු හා සංජානන ගැටලුවලට මුහුණ පාන බවත් ඔවුන් පෙන්වා දෙයි. 

සැත්කම සිදුකරන විට අදාළ කාන්තාව ගැබ්ගෙන සති 34 ක් වන බව වෛද්‍යවරුන් සඳහන් කරයි.