හිඟුරක්ගොඩටත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක්

හිඟුරක්ගොඩටත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් - විෂයභාර ඇමති

by Staff writer 04-05-2023 | 6:51 AM

COLOMBO (News 1st) - හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් බවට සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මේ තුළින් පොළොන්නරුව, සීගිරිය, අනුරාධපුරය, දඹුල්ල, වැනි ස්ථාන නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට හැකි වන බවයි. 

ඒ තුළින් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බව අමාත්‍යවරයාගේ අදහසයි.   

හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ තුළ අවම වශයෙන් A 330 ගුවන්යානා පියාසර කිරීම හා ගොඩබැස්වීමට අත්‍යවශ්‍ය ප්‍රධාන සංවර්ධන කටයුතු කීපයක් කඩිනමින් සිදු කළ යුතු බවත් ඒ සඳහා ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසුවේ ය.

දැනට දිගින් මීටර් 2287 ක් වන ධාවන පථය මීටර් 2800 ක් පමණ දිගු කිරීම, ගුවන් ධාවන පථයට පිවිසුම් මාර්ගයක් ඉදි කිරීම, ගුවන්යානා අංගනයක් ඉදි කිරීම, ගුවන් නාවික මෙහෙයුම් පද්ධතියක් සැකසීම, ගුවන් පාලක කුළුණක් ඉදිකිරීම, මගී පර්යන්තයක් ඉදි කිරීම වැනි අත්‍යවශ්‍ය ඉදිකිරීම් සහ සේවා සිදු කිරීමට මේ යටතේ සිදු කෙරේ.