දිලිත්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග..

දිලිත් ජයවීරට මැයි 18 කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග..

by Staff writer 04-05-2023 | 8:50 PM

COLOMBO (News 1st) – ජෝර්ජ් ස්ටුවට් පුද්ගලික සමාගමේ සභාපති වන දිලිත් ජයවීර මහතාට මැයි මස 18 වැනි දින කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ පෙනී සිටින ලෙසට අද(04) නියෝග කර තිබේ. 

ඒ, කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ MTV චැනල් පුද්ගලික සමාගම ගොනු කළ නඩුවක ප්‍රශ්නාවලියකට පිළිතුරු ලබා ගැනීමේ අරමුණින් ය.  

MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කොළඹ දිස්ත්‍රික් අධිකරණයට දැනුම් දුන්නේ මීට පෙර අධිකරණය විසින් දිලිත් ජයවීර මහතාට ප්‍රශ්නාවලියකට පිළිතුරු ලබාදෙන ලෙසට නිකුත් කළ නියෝගය ප්‍රකාරව තවමත් එම ප්‍රශ්නාවලියට පිළිතුරු ලබා දී නොමැති බවයි. 

ඒ වෙනුවට හපුතන්ත්‍රිගේ එරන්දිත් නම් පුද්ගලයා විසින් විරෝධතා කිහිපයක් සහා දිවුරුම් ප්‍රකාශයක් ලබා දී ඇති බව ඉගලහේවා මහතා අධිකරණයට පෙන්වා දී තිබේ. 

නීතිඥ සනත් විජේවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේ අදාළ ප්‍රශ්නාවලියට සෑහිමකට පත්විය හැකි පිළිතුරු ලබාදී ඇති බවත්, දිලිත් ජයවීර මහතා පෞද්ගලිකව අධිකරණය තුළ පෙනී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.  

නමුත් MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතාගේ කරුණු දැක්වීම මත එම විරෝධතා ප්‍රතික්ෂේප කළ අධිකරණය දිලිත් ජයවීර මහතාට මැයි මස 18 වන දින පෙනී සිටින්නැයි දැනුම් දුන්නේ ය.  

මෙම ප්‍රශ්නාවලියට ප්‍රශ්න 20ක් ඇතුළත් අතර ඉන් කිහිපයක් මෙසේ ය. 

01.අදාළ සමාගම විසින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ආනයනය සම්බන්ධයෙන් ද්වේෂ සහගත ප්‍රවෘත්ති 
හිරු ටී.වී / අරුණ පුවත්පත් / ඔන්ලයින් ප්‍රවෘත්ති වෙබ් අඩවි විකාශය කළේ ද? පළ කළේ ද? එසේනම් අදාළ සමාගම විසින් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගත්තේ ද? එසේනම් ඒවායේ නඩු අංක කවරේ ද? 

02.තමන්ගේ ප්‍රතිරූපයට හානියක් වූවේ යැයි පවසමින් ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගමේ සභාපති වන දිලිත් ජයවීර මහතා විසින් DMR/216/2012 නඩු අංකය යටතේ නීතිමය පියවර ගත්තේද? එම නඩුවේදී උසාවිය විසින් ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගමේ සභාපති වන දිලිත් ජයවීර මහතා හොඳ ප්‍රතිරූපයක් සහා චරිතයක් නොමැති පුද්ගලයෙක් ලෙස සදහන් කළේ ද? 

03. 2019 මාර්තු 22 වන දින දඩබ්බරයා නම් පොත එළි දැක්වීමේදී ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගමේ සභාපති වන දිලිත් ජයවීර මහතා විසින් විශාල ජනතාවක් ඉදිරියේ තමන් ඇතැම් වෙලාවට නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරන බවට පැවසුවේද? ගංජා භාවිතයෙන් තමන් තෘප්තියක් ලබන බව පැවසුවේ ද? 

04. 2019 මාර්තු 22 වන දින පැවති එම පොත එළි දැක්වීමේදී ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගමේ සභාපති වන දිලිත් ජයවීර මහතා විසින් විශාල ජනතාවක් ඉදිරියේ තමන් අපරික්ෂාකාරී ලෙස සිහි නැතිවීමේ තත්ත්වය දක්වා මත්පැන් පානය කිරීමෙන් තෘප්තියක් ලබන බව පැවසුවේ ද? 

05. ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගමට එරෙහිව විනිමය පාලන රෙගුලාසි උල්ලංඝණය කිරීම යටතේ චෝදනා ගොනු කළේ  ද? එසේනම් අදාළ ගනුදෙනුවේ වටිනාකම කීයද? දඩය නිකුත් කළ දිනය කවදා ද? 

06. ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම විසින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ආනයනයට පෙර අයදුම් පත්‍රයක් යොමු කළේ ද? එසේ යොමු කළේ  නම් එය සිදු කළේ මාර්ගගත ක්‍රමයටද? නැතිනම් ජාතික ඖෂධ නියාමන අධිකාරියට භෞතිකව ගොස් භාර දීමෙන්ද ? 

MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් මියුරු ඉගලහේවා, එන්.කේ අශෝක් බරන්,දමිත කරුණාරත්න,නෙරංජන් අරුල්ප්‍රගාසම් යන නීතිඥ මහත්වරුන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා සමග පෙනී සිටියේ, නීතිඥ ජී.ජී අරුල් ප්‍රගාසම් මහතාගේ උපදෙස් පරිදි ය.