ගුජරාට් ටයිටන්ස් පැරදු දිල්ලි කැපිටල්ස් පිලට ජය

ගුජරාට් ටයිටන්ස් පැරදු දිල්ලි කැපිටල්ස් පිලට ජය

by Staff writer 03-05-2023 | 6:59 AM

COLOMBO (News 1st) - 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහි තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 5කින් ජය ගෙන තිබේ.

තරගාවලියේ 44 වැනි තරගය වූ මෙය අහමදාබාද්හිදී පැවැත්විය.

එහි කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 5 බිඳ වැටුණේ ලකුණු 23කදී.

අනතුරුව පිටියේ එක් වූ අක්සාර් පටෙල් සහ අමන් හකිම් ඛාන් 6වැනි කඩුල්ලට ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේ ය.

අක්සාර් පටෙල් ලකුණු 27 යි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අමන් හකිම් ඛාන් ලකුණු 51 ක් රැස් කළේ ය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් ෂාමී කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 11 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබාදෙමිනි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 130 ක් රැස් කළේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 32කදීයි.

නායක හර්දික් පාන්ඩ්‍යා සහ අභිනව් මනෝහර් පස්වැනි කඩුල්ලට ලකුණු 62ක සම්බන්ධතාවයක් ගොඩනැගුව ද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වුණේ නැත.

අභිනව් මනෝහාර් ලකුණු 26 යි.

නායක හර්දික් පාන්ඩ්‍යා නොදැවී ලකුණු 59 ක් රැස් කළේ ය.

ලකුණු 131 ක පහසු ඉලක්කයක් හඹා ගිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 125 ක් පමණි.