අදත් දිවයින පුරා තද වැසි...

අදත් දිවයින පුරා තද වැසි... බදුල්ල, කෑගල්ල හා මාතර දිස්ත්‍රික්කවලට තවදුරටත් නාය යෑමේ අනතුරු ඇඟවීම්..

by Staff writer 02-05-2023 | 7:37 AM

COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසකට අද (02) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුශ්කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ, බස්නාහිර, සබරගමුව, ඌව හා නැගෙනහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, මන්නාරම හා යාපනය වැනි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි.

මේ අතර පවතින වර්ෂාව හමුවේ බදුල්ල, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ පස්සර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.